හුස්ටන් මැරතන් තරගයේ 8 වැනියා වූ හිරුණිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

  👤  3321 readers have read this article !
By mawbima 2018-01-16

විචිත්‍ර වීරසිංහ

ඇමෙරිකාවේ හුස්ටන් මැරතන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් එක්කරමින් මේ වසරේ අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට වරම් දිනාගත්තාය.
එහිදී ඇය සැතපුම් 26.219 (42.196 කි.මී) ක දුර ප්‍රමාණය පැය 2:36:35කදී අවසන් කරමින් තරගකාරියන් 2662ක් අතරින් 8වැනියා බවටත්, සමස්ත මැරතන් තරගයේදී තරගකරුවන් හා තරගකාරියන් 6962ක් අතරින් 51වැනියා බවටත් පත්වීමද විශේෂත්වයකි.

මේ අතර මෙයට පෙර එනම් 2015 වසරේදී නිලුකා ගීතානි රාජසේකර පැය 2:40:07 කාලයක් සටහන් කරමින් තැබූ ශ්‍රී ලංකා වාර්තාව මෙවර හිරුණි විසින් බිඳ දමන ලද අතර, නිලුකා එදා තැබූ වාර්තාවට වඩා මෙවර හිරුණි වි:3:32ක් ඉදිරියෙන් සිටිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් එක් කිරීම කැපීපෙනිණි. තවද හිරුණි විසින් වාර්තා කරන ලද නව කාලය ඇය මීට පෙර වාර්තා කළ පෞද්ගලික හොඳම කාලයට වඩා මිනිත්තු 7ක අඩු වීමකි.

කෙසේ වෙතත් මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන හිරුණි විජේරත්න අවුරුදු 9 වන තෙක් කොළඹ ශා.බි්‍රජට් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව ඇමෙරිකාව බලා ගොස් තිබූ අතර, මේ වනවිටත් ඇය ජීවත්ව සිටින්නේ ඇමෙරිකාවේය.

කෙසේ වෙතත් පැය 2:24.51ක කාලයක් සටහන් කළ ඉතියෝපියාවේ දිගෙෆා බිරුක්ටයිට් තරගකාරියන් අතර පළමු තැන දිනාගත් අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ඉතියෝපියාවේම ඔලිජිරා බෙලනේෂ්ට හා මිලෙසෙච්ට හිමිව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon