වංචා දූෂණ ගැන සෙවීමට පත්කළ කොමිෂන් වාර්තා දේශපාලන හේතූන් මත එකතැනක සිරවෙලා

  👤  3270 readers have read this article !
By mawbima 2018-01-16

වංචා, දූෂණ පිළිබඳ විමර්ශනය කිරීමට කොමිෂන් පත් කළද විවිධ දේශපාලන බලපෑම් මත එම වාර්තා සිරකරගෙන ඇතැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
තමාට ඒ ඒ මොහොතේ එල්ල වන චෝදනාවලින් මිදීමට කොමිෂන් දමා පලක් නොවන බවත් පක්ෂය හෝ තරාතිරම නොබලා වංචනිකයන්ට දඬුවම් දීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවත් සිල්වා මහතා පෙන්වා දෙයි.

හොරකම් නැවැත්වීමට ආ ආණ්ඩුව හොරුන් සමඟ ලැගුම්ගෙන සිටින හෙයින් දඬුවම් ලබාදීමක් බලාපොරොත්තු විය හැකි දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
එදා පාර්ලිමේන්තු ගාලගෝට්ටියේදී පිරිසක් සුනාමි හොරා ලෙසින්ද පිරිසක් බැඳුම්කර හොරා ලෙසින්ද වරද පටවාගත් බවත් ජවිපෙට පැවැසීමට ඇත්තේ දෙපිරිසම හොරුන් බවත් පැවැසූ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ දූෂිත රටවල් අතර අංක 4ට ඇති ශ්‍රී ලංකාව අංක 1ට ගේනවාද, නැද්ද යන්න පුංචි ඡන්දයේදී තීරණය කිරීමට ජනතාවට ඉඩකඩ විවර වී ඇති බවය.

ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව පැවැසුවේ ඊයේ (15දා) පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වැඩ හරි අඩක් ඉවරයි. ගිය මැතිවරණවලට වඩා ප්‍රචණ්ඩත්වය, ගැටුම් ටිකක් අඩු වී තිබෙනවා. ඊට බලපා තිබෙන්නේ මනාප ක්‍රමය අහෝසි වීමත්, කොට්ඨාස ක්‍රමයේ වාසි ලබාදීමත්ය.

මෑත කාලයේ මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය රාජ්‍ය බලය පාවිච්චි කරමින් කරන වංචා, දූෂණ, හොරකම්. මේ දූෂණ, වංචාවලට එදා වගේම අදත් මන්ත්‍රි ධුර, ඇමැති ධුර ලයිසන් එක කරගෙන තිබෙනවා. ගස් කපන, ගංජා විකුණන, කසිප්පු පෙරන අය නීතියේ රැහැනට කොටු වුණාම කොනකට මන්ත්‍රිවරයෙක් සම්බන්ධයි. නමුත් මේ මැතිවරණය පටන් ගද්දිම අපි තේමා පාඨයක් ඉදිරිපත් කළා. ඒ තමයි 'ගම ගොඩගෙන - දූෂණ පරදන ජවය කියලා. අපේ ආකාරයටම අනෙක් පක්ෂත් දූෂණය පරදනවා කියලා සමුළු තියලා ප්‍රතිඥා දුන්නා. ජනාධිපතිවරයා කිව්වා දූෂිතයෝ, හොරු අල්ලනවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා නැවත මන්ත්‍රිවරුන්ට කොන්ත්‍රාත් කරන්න දෙන්නෙ නෑ කියලා. යූ.එන්.පි දූෂණය නවත්වනවා කියලා ප්‍රතිඥා දුන්නා.

මෙවැනි මාතෘකාවක් කරළියට ආවේ ප්‍රධාන ප්‍රශ්නයත් එය නිසයි. ප්‍රශ්නය තමයි මහ පරිමාණ දූෂණ කරපු අයම ඒවා නැවැත්වීමට ප්‍රතිඥා දීම. මේ ඊනියා ප්‍රතිඥාවලට නොරැවටී නිවැරැදි අවබෝධයක් ඇති කරගෙන පුංචි ආණ්ඩුවලට ඡන්දය දීමේ වගකීම ජනතාවට පැවැරී තිබෙනවා.

දැන් ප්‍රධාන වංචාව බවට පත්ව තිබෙන්නේ බැඳුම්කර ගනුදෙනුව. වසර 3ක් යනකම් ආණ්ඩුවට එක හොරෙක් අල්ලා ගන්න බැරි වුණා. සිල්රෙදි නඩුවේදී අධිකරණය තීන්දුව දුන්නත් ඉදිරිපත් කරපු ඇපිල් එකෙන් පස්සෙ අනුෂ පැල්පිටයි, ලලිත් වීරතුංගයි ඇප ලබා ගෙදරත් ගියා. අහපු නඩුවෙනුත් වැඩක් නැහැ. ඒ කියන්නේ මේ ආණ්ඩුවට හොරු අල්ලන්න සැබෑ වුවමනාවක් නැහැ.

ජනාධිපතිවරයා බැඳුම්කර සිද්ධිය ගැන සෙවීමට කොමිසමක් දැම්මා. දැන් බැඳුම්කර කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයා ළඟ තියාගෙන කල් ගනිමින් ඉන්නවා. මේ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වගේම ජනතාවටත් අවශ්‍යයි. යට ගහන්න සැරසුණත් අවසානයේ මේ වාර්තාව එළියට දාන්න සිද්ධ වුණා.
බැඳුම්කර වගේම බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තා 34ටත් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම ජනාධිපති මීට අවුරුදු 3කට කලින් හෙළි කරපු මාතර නිල්වලා ගං ව්‍යාපෘතියට සම්බන්ධ චූදිතයන්ට ගත්ත ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි අහනවා. ඒවා ඔහුට මතකත් නෑ. මෑත කාලේ ඔහුගේ හැසිරීම ජනාධිපතිවරයකුට ගැළපෙන හැසිරීමක් නෙවෙයි. එතුමා රට පාලනය කරනවා වෙනුවට ජනප්‍රිය මාතෘකාවලින් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන බවක් පෙන්වා.
එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙසේය.

ප්‍ර :- ජනාධිපතිවරයාගෙ ධුර කාලය වසර 6ක් සිටිය හැකිද කියලා විමසීම සම්බන්ධ ජවිපෙ ස්ථාවරය මොකක්ද?
පි :- ජනාධිපතිවරයා මැතිවරණයට ආවේ පොරෙන්දුවක් ලබා දෙමින්. ධුරය භාර ගත්තෙත් පොරොන්දුවක් පිට. හැබැයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී වත් විධායක බලතල අඩු කරගන්න බැරි වුණා. ඔහු වැඩකරන්නේ පක්ෂයේ බලය තහවුරු කරගන්නයි. ඒකයි විධායක බලතල අඩු කිරීම සීමා කරන්නෙ. ඒ නිසයි මේ ඡන්දයක් අස්සේ ධුර කාලය ගැන ඇහැව්වේ.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon