රනිල් අගමැති ධුරයේ ඉන්නවාදැයි? නැද්දැයි? පුංචි ඡන්දයෙන් තීරණය වෙනවා

  👤  3416 readers have read this article !
By mawbima 2018-01-16

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ අගමැතිවරයා තවදුරටත් එම තනතුරේ සිටිනවාද නැද්ද? කියන දේශපාලන තීන්දුව ප්‍රකාශයට පතවන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
ඔහු එසේ පැවැසුවේ ඊයේ (15දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවැසීය.

පසුගිය 2015 ජනවාරි 8 ජනවරම ලබා ගන්න පොරොන්දු රැසක් ලබා දුන්නා. එහි පළමුවැන්න යහපාලනයයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සංහිඳියාව, දූෂණයෙන් තොර පාලනය, සංවර්ධනය වූ රටක් ආදී විවිධ පොරොන්දු දුන්නා. මේක විශ්වාස කරල තමයි ජනතාව ඡන්දය දුන්නෙ.
දැන් ආණ්ඩුවට වසර 3ක් ගතවන මොහොතකයි මැතිවරණය පැවැත්වෙන්නේ. ඡන්දය භාවිත කරන්න කලින් ආණ්ඩුව දීපු පොරොන්දු ඉටු කරල තියෙනවද කියල සොයා බැලිය යුතුයි. යහපාලනය ගැන කතා කළ ආණ්ඩුව එක් දිනක් තුළ අගවිනිසුරු ඉවත් කිරීමෙන්ම ආණ්ඩුව තමන්ට කිසිදු යහපාලන වටිනාකමක් නැහැ කියල පෙන්නුවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා මැතිවරණ සිතියම වසර දෙකහමාරකින් කල් දැම්මා. නීතියේ ආධිපත්‍යය කියල අද මේ රටේ තියෙන්නෙ තෝරාගත්ත පිරිසකට නීතිය ක්‍රියාත්මක වීමක්.

දූෂණයෙන් තොර රටක් ගැන කතා කළත් මහ බැංකු බැඳුම්කර මගඩියෙන් පමණක් රුපියල් මිලියන 11,145ක් පමණ පාඩු සිදු වෙලා කියලා ජනාධිපතිත් කියනවා. ගෙවී ගිය කාලය තුළ ඩොලර් බිලියන 14.6ක් ණය ගෙන තිබෙනවා. ඒත් කරපු දෙයක් පෙන්වන්න නැහැ.
පාස්කරලිංගම්, මලික් සමරවික්‍රම සහ විදේශිකයෙක් එකතුව ආර්ථිකය මෙහෙයවනවා. 2001-2013 පරාජය වුණු 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යළි ක්‍රියාත්මක කරනවා.
රටේ ආර්ථික මර්මස්ථානයක් වන හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.4කට වසර 99කට බදු දුන්නා. ලැබුණේ ඩොලර් මිලියන 936ක් පමණයි.
එහි ඉඩම් ඇතුළුව තක්සේරුව විතරක් ඩොලර් බිලියන 8.6යි. එහෙම තමයි පසුගිය ආණ්ඩුව ඉඩම් බදු දෙන්න කටයුතු කළේ. ඒත් මේ ආණ්ඩුව කුණුකොල්ලයට වරාය දුන්නා. එතැනින් නවතින්නෙ නැහැ. හිල්ටන් හෝටලයේ සිට සියලු දේ විකුණනවා.

මෙවර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළහොත් දුම්රිය, රක්ෂණ සංස්ථාව, ගුවන් තොටුපොළ ආදී බොහෝ දේවල් විකුණන්න පිඹුරුපත් සකස් කරල ඉවරයි. රාජ්‍ය පෞද්ගලික හිමිකාරිත්වය කිව්වට හම්බන්තොට වරායෙන් රජයේ හිමිකාරිත්වය සියයට 15යි.
හම්බන්තොට වරාය විකුණන්න එපා කියලා කැබිනට් පත්‍රිකා 9ක් අර්ජුන රණතුංග ඇමැතිවරයා ඉදිරිපත් කළා. ඒ නිසා ඔහුට ඇමැතිකමත් නැති වුණා. විජයදාස රාජපක්ෂ මහතා විරුද්ධ වුණාම ඔහුගේ ඇමැතිකමක් නැති කළා.

මෙවර පළාත් පාලන මැතිවරණය රටේ දේශපාලනය උඩු යටිකුරු කරන මැතිවරණයක් බවට පත් වෙනවා. මේ අගමැතිවරයා සිටිනවාද නැද්ද යන්න ඒ විතරක් නෙවෙයි නව අගමැතිවරයා පත්වෙනවාද නැද්ද යන්න තීන්දු වෙනවා.
ජනවරම ජනාධිපතිතුමාට තිබුණත් ආණ්ඩුව කරන්නෙ මොනවාද කියල ජනාධිපතිතුමා දන්නෙ නැහැ. ජනාධිපතිතුමා අභිභවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ක්‍රියා කරනවා. රැකියා ලක්ෂ 10ක් දෙනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුණා.
රවි කරුණානායකට රෙදි ඇඳගෙන බැඳුම්කර ගනුදෙනුව ගැන කතා පුළුවන්කමක් නැහැ. අගමැතිතුමත් මේකෙ චූදිතයෙක්. ඔහුටත් චෝදනා රැසක් තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර
මැතිවරණයකට ගියත් රාජපක්ෂ ණය භීතිකාව විතරයි තවමත් පෙන්වන්න හදන්නෙ. ආර්ථික ඔස්තාර් කෙනෙක් කියන රනිල් වික්‍රමසිංහට පුළුවන්කම තිබෙන්නේ රාජ්‍ය සම්පත් විකුණාගෙන කෑමට පමණයි. ආර්ථික ඔස්තාර්ට වැඩ බැහැ කියලා ඔප්පු වෙලා ඉවරයි. කාන්තාවන්ට සහන දෙනවා කියලා දැන් අරක්කු වීදුරුව දෙනවා. රනිල්, මංගල ඇතුළු සමනල කණ්ඩායම මේ රටේ සංස්කෘතිය විනාශ කරනවා.
දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon