වැරැදි කරන අයට දඬුවම් දීලා පිරිසුදු කිරීම උඩින්ම පටන් ගමු

  👤  3256 readers have read this article !
By mawbima 2018-01-16

පාර්ලිමේන්තුවට නොගැළපෙන ලෙස ඉකුත්දා එහි හැසිරුණු සියලුම මන්ත්‍රිවරුන්ට මාස 03කටවත් පාර්ලිමේන්තුව තහනම් කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඉකුත්දා අනුරාධපුර, මැදවච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදී දුමින්ද දිසානායක මහතා මෙසේද පැවැසීය.

එයා මෙයාට හොරා කියනවා. මෙයා එයාට හොරා කියනවා. ඊට පස්සේ ගහගන්නවා. සමහරු ක්ලාන්තය දාලා වැටෙනවා. සමහරුන්ට තුවාල වෙලා තියෙනවා. කට්ටිය ඔළු පළාගෙන, ගහගෙන, කරන්න තියෙන හැම දේම කරගෙන. ඒ විතරක් නෙවෙයි කිසිම හිරිකිතයක් නැතිව සමහර මන්ත්‍රිතුමන්ලා තමන්ගේ දුරකතනයෙන් වීඩියෝ කරලා දැන් ටී.වී. එකෙත් පේන්න තියෙනවා. පාර්ලිමේන්තුවේ හැටි කොහොමද කියලා දැක්කම ලැජ්ජයි. අපි ඉන්න පාර්ලිමේන්තුවද මේ කියලා හිතෙනවා. ජනතාව අපිව පාර්ලිමේන්තුවට යැව්වේ මේ ටිකටද කියලා හිතෙනවා. පාර්ලිමේන්තුව තියෙන්නේ රට පාලනය කරන්න, නීති සම්පාදනය කරන්න. හැබැයි දැන් කරන්නේ එයාට මෙයාට හොරා කියා ගැනීම පමණයි.

ගමට අපි සුපිරිසුදු දේශපාලනයක් ගේන්න හදනකොට ගමේ දේශපාලනය නිවැරැදි කරන්න හදනකොට, ගමට දූෂිතයෝ එපා කියලා කියන්න හදනකොට පාර්ලිමේන්තුවේ ගහබැන ගන්නවා. කතානායකතුමන්ටත් තීන්දුවක් ගන්න හොඳ අවස්ථාවක් දැන්. ගම සුද්ද කරනකොට උඩත් සුද්ද කරන්න හොඳ වෙලාවක්. මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් මේ රටට වැරැදි පූර්වාදර්ශ දුන්න, වැරැදි විදියට හැසිරෙන අයට දඬුවමක් දීලා මේක ඉහළින් පටන් ගන්න කියලා.

මේ රට හදන්න නම් ඉහළ ඉඳන් පහළටම නිවැරැදි තීන්දු තීරණ ගත යුතුව තිබෙනවා. ඒ තීන්දුව ගන්න උතුරුමැද පළාතෙන් බිහි වුණ ගොවියකුගේ පුතෙක් වුණු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කොන්දක් තිබුණා, හයියක් තිබුණා රටේ දේශපාලන පරිවර්තනයක් කරන්න. ඒ දැවැන්තම තීන්දුවත් තමන්ගේ කාලයේ අරගන්න පමණක් නෙවෙයි ඒ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන්නත් එතුමාට කොන්දක් තියෙනවා. මේ වෙලාවේ අපි වගේම රටත් තියෙන්නේ සුබවාදී තැනක.
ශ්‍රී ලංකා වේවා, ජේ.වී.පී. වේවා, යූ.එන්.පී. වේවා වෙනත් පක්ෂයක වේවා මේ රටේ සාමාජිකයෝ, මේ රටේ පුරවැසියෝ වාසනාවන්ත වෙලා තියෙනවා මෛත්‍රිපාල සිරිසේන මහතා වැනි නායකයෙක් යටතේ රට හරි පාරට යවන්න. අද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ මුස්ලිම්, දෙමළ, ජනතාව අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා.

මීට කලින් උතුරු පළාතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන්කම තිබුණද? නැඟෙනහිර පළාතේ අපි ඉල්ලුවේ නෑ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ අද ජාති, ආගම් භේදයකින් තොරව සියලු ජනතාව 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ පළමු මැතිවරණය වැඩිම ඡන්දදායකයෝ ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව ඡන්දය භාවිත කළා. දැනුත් දෙමළ, මුස්ලිම් ජනතාවගේ විශ්වාසය මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ට තියෙනවා. මේ මොහොතේ අපි පක්ෂ විදියට නොව රට හරි පාරේ ගෙන යෑමටයි මේ සියලුදෙනා එකට එකතුවෙලා ඉන්නේ. එහෙම නම් ගමත් හදා ගන්න අපි හැමෝම එකට එකතු වෙමු.

මඩාටුගම - ප්‍රසංග ඒකනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon