මිහින්තලේ නව නගර සංවර්ධනයේදී ඉදිකළ සමරු ඵලකය සහිත වටරවුම මුළුමනින්ම විනාශයි

  👤  3281 readers have read this article !
By mawbima 2018-01-16

අනුරාධපුර - මහේෂ් විජේසුරිය
මිහින්තලේ - ර.මු.සු. රත්නායක

මිහින්තලය නව නගරය සංවර්ධනය සිදුකළ සමයේ ඒ-9 හා ඒ-12 අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයන් සම්බන්ධ කරමින් හතරමං හන්දිය හරහා ඉදිකර තිබූ වසර තිස්හතක් පැරැණි සමරු ඵලක සහිත වටරවුමේ (සිංහ කණුව) ඉන්ධන පුරවාගෙන ඒම සඳහා ත්‍රිකුණාමලය තොග තෙල් ගබඩාව වෙත ධාවනය වූ බවුසරයක් ගැටීමෙන් ඊයේ (15දා) අලුයම වටරවුම මුළුමනින්ම විනාශයට පත්වී බවුසරයට දැඩි අලාභහානි සිදුවිය.

ඉන්ධන රහිත වූ බවුසරය අනුරාධපුරය මාතලේ හන්දිය දෙස සිට අධික වේගයෙන් මිහින්තලය නගරය දෙසට ධාවනය වී ඇති බවත් ඒ අවස්ථාවේ අසල රාජකාරියේ සිටි පොලිස් රථවාහන නිලධාරීන් බවුසරය නතර කරන ලෙසට විදුලි පන්දමක ආධාරයෙන් සංඥා කළත් බවුසරයේ රියැදුරාට නින්ද යෑම නිසා ඒ බව දැක නොමැතිව අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන්නේ යැයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන මිහින්තලය පොලිසියේ රථවාහන අංශය සඳහන් කළේය.
වේගයෙන් පැමිණි ඉන්ධන රහිත බවුසරය සිංහ කණුව මැදින් ධාවනය වී තිබෙන අතර එම අනතුරෙන් සිංහ කණුව වටරවුම මුළුමනින්ම විනාශ වී ගොස් තිබිණි. එහි හතර දිශාවට සවිකර තිබූ සමරු ඵලක, සිංහ රූප හා සිංහ කුලුන අනතුරෙන් මුළුමනින්ම විනාශ වී ගොස් ඇත.
ලොරි රථය පැදවූ රියැදුරාට හෝ එහි සහායකයාට අනතුරෙන් කිසිදු අනතුරක් සිදුවී නැතත් වටරවුමේ නිදාසිටි සුනඛයකු අනතුරෙන් බරපතළ තුවාල ලබා මරණයට පත්වී ඇත.
අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍යවරයකු වූ ඩී.ඒ. සෝමරත්න මහතා පැවැසුවේ අලුයම 5.00ට පමණ නගර දෙසින් විශාල ශබ්දයක් ඇසීම නිසා ඒ දෙසට පැමිණ බලද්දී බවුසරය වටරවුමේ ගැටී විනාශ වී තිබෙන අයුරු දුටු බවයි.

යම් හෙයකින් ඉන්ධන ප්‍රවාහනය සිදුකරන අවස්ථාවේ බවුසරය අනතුරට ලක්වීම සිදුවූයේ නම් බවුසරය පුපුරා ගොස් නගරයට දැඩි අලාභහානි සිදුවීමට ඉඩ තිබූ බවත් වාසනාවකට මෙන් එහි ඉන්ධන තිබී නැති බව ඒ මහතා පැවැසුවේය.
වර්ෂ 1981දී මිහින්තලය නව නගරය සංවර්ධනය සිදුකරද්දී සමරු ඵලකයන් සහිත වටරවුම ඉදිකර ඇති අතර එහි හිටපු ජනාධිපති හා හිටපු නිවාස සංවර්ධන අමාත්‍යවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු මැතිඇමැතිවරුන් කිහිපදෙනකුගේ නම් සඳහන් කර තිබෙන බව නගරවාසීහු පැවැසූහ.
අනතුර සිදුකළ රියැදුරා පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම සිදු නොකළත් රජයේ දේපළකට හානි කිරීමේ චෝදනාවට නීතිමය පියවර ගන්නා බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පැවැසුවේය.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ජේ. ගුණතිලක මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ධර්මපාල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon