ගෙවුණු තෙවසරේ ආර්ථිකය ශක්තිමත් කළේ මහින්දගේ ණය බරින් රට මුදා ගැනීමටයි

  👤  3055 readers have read this article !
By mawbima 2018-01-16

අපි බලයට පත් වන විට විශාල ණයක් ගෙවීමට තිබුණා. නමුත් ඒ ණය ගෙවීමට අපට ශක්තියක් තිබුණේ නෑ. ණය ගෙවීමට හැකි ලෙස අපි ආදායම වැඩි කර ගත්තා. සුළු පිරිසක් අපිට චෝදනා කළත් ණය ගෙවීමටත් රටේ පරිපාලනයට මුදල් වෙන් කිරීමටත් හැකි ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. නමුත් රටේ අනෙක් වැඩ කටයුතු වෙනුවෙන් ඉදිරියේදී ඇතැම් විට ණය ගැනීමට සිදුවෙනවා. එම ණය පියවීමට හැකි ආර්ථිකයක් අප ඇති කර ගත යුතුයි. අපේ ආර්ථිකය තවත් සංවර්ධනය කර ගත යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

1960දී පළමුවෙන් උඩුබද්දාවට පැමිණෙන විට මෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තිබුණේ නැහැ. උඩුබද්දාව මංසන්ධියේ වින්කලයක්, සමුපකාරයක් කඩ සාප්පු 02ක් සහ එක් ලෑලි කඩයක් පමණයි ඒ කාලයේ තිබුණේ. එදා උඩුබද්දාවේ තත්ත්වය එසේයි. කුලියාපිටිය නගරයේ තත්ත්වයත් එසේමයි. මාර්ගය දෙපස කඩ සාප්පු කිහිපයක් පමණක් පිහිටා තිබුණා. ඒ කාලයේ සිට මම උඩුබද්දාව ඇතුළු මේ ප්‍රදේශ ඉතා හොඳින් හඳුනනවා.
අප මෙහි ඉදිරියේදී ඇති කරන්නේ වෙළෙඳ කලාපයක්ම පමණක් නොවෙයි. එයින් ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි අප සිදු කරන්නේ. කර්මාන්ත කලාපය ආරම්භ කිරීම හරහා විශාල දියුණුවක් මෙහි ඇති වෙනවා. එම දියුණුව වෙනුවෙන් මේ ප්‍රදේශය සැලසුම් කළ යුතුව තිබෙනවා. පාසල් ආරම්භ කරන්නේ කෙසේද? මේ ප්‍රදේශයට පිටතින් පැමිණෙන පුද්ගලයන්ට නවාතැන් පහසුකම් සලසන්නේ කෙසේද? ආදිය පිළිබඳව සැලසුම් කළ යුතුයි.
දුම්මලසූරිය, බිංගිරිය, මාදම්පේ යන ත්‍රිකෝණය අතර මෙම දියුණුව ඇති කළ යුතුයි. දෙසැම්බර් මාසයේ බිංගිරිය වෙළෙඳ කලාපයේ වැඩ කටයුතු නිරීක්‍ෂණයට පැමිණිලා පසුව අද දිනයේ මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමට පැමිණියේත් එම නිසායි. මේ හරහා බිංගිරිය, උඩුබද්දාව ආදී ප්‍රදේශවල විශාල දියුණුවක් ඇති වේ යැයි මම බලාපොරොත්තු වෙනවා.
තවත් ප්‍රධාන වැඩකටයුත්තක් අපි ආරම්භ කර තිබෙනවා. එනම් ඉරණවිල ඇමෙරිකන් හඬ ආයතනය පිහිටා තිබූ ඉඩමේ අපි සංචාරක කලාපයක් ආරම්භ කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කරනවා. එහි පැමිණෙන විදේශිකයන්ට මෙම ප්‍රදේශයටත් පැමිණිය හැකියි. ඒ සඳහා නව මහාමාර්ගයක් ද ඉදිකරනවා. මෙම ඉරණවිල, බිංගිරිය කේන්ද්‍ර කර ගනිමින් අනෙක් සියලු ප්‍රදේශවල දියුණුව ඇති වෙනවා. ඒ අනුව පැරණි මාදම්පන රාජධානිය වැනි නව ආර්ථික රාජධානියක් ඇති කිරීමට අපට හැකි වෙනවා. මේ සියල්ලම රටේ සංවර්ධනයේ කොටස්.
නිෂ්පාදන, කර්මාන්ත, සංචාරක ආදී ක්‍ෂේත්‍ර දියුණු කරමින් ජාතික දළ දේශීය නිෂ්පාදනය තුන්-හතර ගුණයක් දක්වා වර්ධනය කර ගත යුතුයි. කර්මාන්ත කලාප, සංචාරක කලාප, තොරතුරු තාක්‍ෂණය, මූල්‍ය නගරය ආදිය අවශ්‍ය වන්නේ එම විශාල සංවර්ධනය ඇති කිරීමටයි. එම කලාප ඇති කිරීමට පෙර ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතුයි. ඒ සඳහා අප පළමුවෙන්ම මහනුවර _ හම්බන්තොට අතර ප්‍රදේශය හඳුනාගත්තා.
බස්නාහිර, වයඹ, ගාල්ල, මාතර, හම්බන්තොට ආදී ප්‍රදේශවල යම් තරමක යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇතිව තිබුණා. හම්බන්තොට වරාය ක්‍රියාත්මක කිරීමට අපට හැකි වුණා. ගුවන්තොටුපළත් අපට ක්‍රියාත්මක කරවීමේ තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයට මුදල් ලබා දෙමින්, මහා මාර්ග දියුණු කරමින් මහනුවර සිට හම්බන්තොට කලාපය වෙළෙඳ කලාප, කර්මාන්ත ආදිය ඇති කිරීමට සරිලන ආකාරයට යටිතල පහසුකම්වලින් සමන්විත කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය අය-වැයේ ආයෝජකයන්ට දිරිගැන්වීම්ද අප සිදු කළා. දැන් අප රට තුළට ආයෝජකයන් ගෙන ආ යුතුයි.

ඉරණවිල සංචාරක කලාපයක්, මෙම ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක්, කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක්, මාස් සමාගමේ ආයතනයක් ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා. ‍ෙදාඩම්ගස්ලන්ද ප්‍රදේශයයේ කර්මාන්ත කලාපයක් ඉදිකිරීම වෙනුවෙන් හඳුනා ගැනීමට අපට හැකි වුණා. අනෙක් කර්මාන්ත කලාපය සඳහා ගලගෙදර ප්‍රදේශයේ ඉඩම් සොයාගැනීමේ කටයුතු දැන් සිදු කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය හරහා කුලියාපිටියත්, කුරුණෑගලත් නගර දියුණුවට පත් වෙනවා. කුරුණෑගල නගරය තවත් පුළුල් කරමින් කුරුණෑගල සඳහා තවත් ජාතික පාසල් දෙකක් ලබාදීමටත් අපි පොරොන්දු වී තිබෙනවා. මෙම විශාල සංවර්ධනයේ වාසිය කුරුණෑගලට ලැබෙනවා. ඉන් පසුව වන්නි හත්පත්තුව ආදී ප්‍රදේශ දක්වා ඉදිරියේදී ගෙන යනවා. මේ ආකාරයට රටේ සංවර්ධනය අප ඉදිරියට ගෙන යනවා. තවත් වසර 10ක් පමණ ගතවන විට මෙම ප්‍රදේශය හඳුනාගැනීමටත් අපහසු වන තරමට දියුණුවකට ලක් වෙනවා. බියගම ආයෝජන කලාපයෙන් ලැබූ අත්දැකීම් අනුව කෘෂිකාර්මික කලාප, වාණිජ කලාප, නේවාසික කලාප ලෙස කලාප 03කට වෙන් කළ යුතු වෙනවා. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු වන්නේ ඒවාට අදාළ වැඩකටයුතුයි.

විදුලිය නොමැති ප්‍රදේශවලට විදුලි බලය ලබාදීමටත් අප කටයුතු කරනවා. ඒ අනුව මහනුවර, කොළඹ, හම්බන්තොට විශාල ආර්ථික කලාපවල ඇති වන සංවර්ධනය වගේම බිංගිරිය, මාදම්පේ, කුලියාපිටිය ත්‍රිකෝණයට අයත් ප්‍රදේශවලටත් විශාල දියුණුවක් ලැබෙනවා.
ත්‍යාගා ශ්‍රී මාලි බන්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon