මේ රට හදන්න බැරි එකම හේතුව දූෂිත දේශපාලනයයි

  👤  3168 readers have read this article !
By mawbima 2018-01-16

තමා බලයට පත්වූ පසු තමා සතු ව්‍යවස්ථාපිත බලය තමාගෙන් ඉවත් කර ජනතාවට පැවැරූ නායකයකු ලෝකයේ කොතැනකවත් සිටිනවාදැයි අභියෝග කරන බව ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා අගලවත්තේදී ප්‍රකාශ කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ස¼දහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අගලවත්ත බස් නැවතුම්පොළේදී පැවැති ජන රැලිය අමතා මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස බණ්ඩාරනායක මැතිතුමා ඉතාම කෙටි කාලයක් අවුරුදු තුනහමාරක් රාජ්‍ය නායකයා වුණා. නමුත් එතුමා අවුරුදු තුන හමාරක කාලය තුළ මේ රටේ මෙතෙක් බිහිවූ සියලු රාජ්‍ය නායකයන්ගෙන් දැඩි දුක් ගැහැට, නින්දා, අපහාස, කරදර සියල්ලට මුහුණදීලා අවසානයේ වෙඩි ප්‍රහාරයට ලක්වෙලා රටේ ජනතාව වෙනුවෙන් ජීවිතය පුද කළා. බණ්ඩාරනායක මැතිතුමාගේ රුධිරයෙන් තෙත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොඩිය සමඟ පෝෂණය වූ දේශපාලන ව්‍යාපාරය බණ්ඩාරනායක මැතිතුමාගේ ලෙයින් හඬගා කියන මානවවාදී සමාජවාදී කාර්ය භාර්ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදත් අදත් උසුලනවා. පුංචි මිනිස්සු ඉහළට අරගෙන කුලවාදය නැති කරලා රදල පවුල්වල අයටත් පහළ පන්තියේ ජනතාවටත් එකතු වන ක්‍රමයක් හදලා කම්කරු අයිතීන් දිනා ගැනීමට කටයුතු කළා. ජනසතු ව්‍යාපාර ඇති කරලා මහා සංස්කෘතික පෙරළියක් ඇති කළා.

බණ්ඩාරනායක මැතිනිය සිය කඳුළින් බොහෝ දුක් ගැහැට විඳිමින් අවුරුදු 42ක් නායකත්වය ගෙන ගියා. සිංහනාද නඟමින් ජාතියේ යහපත වෙනුවෙන් ජනසතු ව්‍යාපාරය ක්‍රියාත්මක කළා. අවුරුදු තුනක් ජනාධිපති මොනවද කළේ කියලා සමහරු අහනවා. 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනාධිපති ලෙස මා තෝරා ගන්නා විට මේ රට තිබුණේ කොතැනද කියලා රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. අපේ රට පිළිබඳ අවි අමෝරාගෙන හිටියා. ජාත්‍යන්තරය අපට තර්ජනය කරමින් තිබුණා. මම රජය භාර ගන්නා විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193න් අතේ ඇඟිලි ගාණටත් අඩු සංඛ්‍යාවක් පමණයි අපට හිතවත්ව හිටියේ. අනෙක් සියලු රටවල් සියලු බලවත් රටවල් අපෙන් අෑත්වෙලා තිබුණා.

ජගත් සංවිධානය, යුරෝපය අපෙන් අෑත් වෙලා තිබුණා. ජගත් සංවිධාන ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය ඉදිරිපිට අපේ සමහර ඇමැතිවරු උපවාස කරලා ඒ කාලයේ හිටපු නායකයො උපවාස කළ ඇමැතිට තැඹිලි වතුර පෙව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයම නැති කර ගත්තා. මානව හිමිකම් කොමසාරිස්වරිය ලංකාවට ආව වෙලාවේ අපේ ඇමැතිවරයෙක් එම කාන්තාව කසාද බඳින්න කැමැතියි කියලා කිව්වා. සමහරු විහිළු කියලා හිනා වුණත් අපට මුළු ලෝකයම නැතිව ගියා. ලෝක බලවතුන් නැතිව ගියා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලු සංවිධාන නැතුව ගියා. අපට ආධාර දීම නතර කරලා සම්බාධක පැනවීම නිසා අපි තනි වුණා.
මම බලයට පත් වෙලා ලෝක රාජ්‍ය නායකයෝ හමුවුණා. ජගත් මහලේකම් හමුවුණා. ඔවුන්ට දෑත් දිගු කළා. සියලු ප්‍රශ්න පසෙක දාලා මම හදපු අලුත් ආණ්ඩුවට සහාය දෙන්න කියලා ඉල්ලුවා.

වසර හැට ගාණක් මරා ගත්ත පක්ෂ දෙක එකතු කරලා ආණ්ඩුවක් හදලා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස තහවුරු කරලා මාධ්‍ය ආයතන ගිනි තියන්නේ නැතිව මාධ්‍යවේදීන්ට රට හැර යන්න ඉඩ නොදී මේ රටේ මිනිසුන්ට සතුටින් ඉන්න සමාජයක් ගොඩනඟන බවට ජාත්‍යන්තරයේ සියලු සංවිධානවලට සහතිකයක් දුන්නා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 19 වැනි සංශෝධනය සම්මත කරන්න ගත්ත වෙහෙස මම හැර වෙන කෙනකු දන්නේ නැහැ.

විධායක බලතල තියෙන ජනාධිපති බලතල මගෙන් ඉවත් කරලා පාර්ලිමේන්තුවට පවරන්න ඡන්දය දෙන්න කියලා මම ගෙයක් ගාණේ ගිහිල්ලා ඉල්ලුවා. මහා ලොකුවට අද කයිය ගහන මහා ප්‍රජාතන්ත්‍රවාදියෝ විදියට කතා කරන අයගෙන් අහන්නේ තමන් බලයට පත් වෙලා තමන්ගේ බලතල අඩු කර ගත්තේ ලෝකේ ඉන්න අද කාලයේ නායකයා කවුද කියලයි.
සාධාරණ සමාජයක් ගැන කතා කරනවා පමණක් නෙවෙයි සෑම වෙලාවෙම ඒ සඳහා කැපවෙලා ඉන්නවා. මගේ සහෝදරයන්ටත් මගේ පවුලේ අයටත් නීතිය එකයි. සාධාරණ සමාජයක් හදන්න යුක්ති ගරුක සමාජයක් හදන්න, වංචාව, දූෂණය, හොරකම නැති කරන්න ගන්නා වූ තීන්දු තීරණවලදි යූ.එන්.පී.ද, ශ්‍රී ලංකාද? මොන පක්ෂයද? මොන ජාතියේද, මොන ආගමේද? ඒ කිසි දෙයක් මට අදාළ නැහැ. ඕනෑම කෙනකුට විරුද්ධව ගත යුතු තීරණ තීන්දු සියල්ල අරගෙන පිරිසුදු පාලනයක් ඇති කරන්න කටයුතු කරනවා.
ලෝකයේ එක එක රටවල්වල නම් කියලා ඒ රටවල් වගේ මේ රට හදන්න බැරි ඇයි කියලා අහනවා. විදේශීය ආක්‍රමණවලට යටත් වෙලා ඉඳලා 1948 නිදහස ලබල අවුරුදු 70කට ළඟා වන අපි තවමත් අතීත ශ්‍රී විභූතිය, රජ දවස සංස්කෘතික දියුණුව, ශ්‍රී විභූතිය ගැන වාරි ශිෂ්ටාචාරය ගැන මහ ලොකුවට කතා කරනවා නමුත් අද ලොකුවට අපිට කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.
අපේ රට හදන්න උගතුන් බුද්ධිමතුන් සිටියත් ස්වාභාවික සම්පත් පිරිලා තිබුණත් මේ රට හදන්න බැරි දූෂිත දේශපාලනය නිසයි. මේ රටේ කෝටි ප්‍රකෝටි ගණනින් සිදු කරන හොරකම් වංචා අද ඊයේ සිදුවූ දේවල් විතරක් නෙවෙයි. දශක තුන හතරක් ගත්තද මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය පිරිහිලා. ඒ සියල්ල සමඟ මේ රටේ ආර්ථිකය කඩා වැටිලා. දේශපාලනඥයෝ හොරකම් කරන විට නිලධාරීන් හොරකම් කරනවා. ඊට පස්සේ ගම්වල තියෙන පුංචි සමිති සමාගම්වලත් හොරකම් කරන්න පුරුදු වෙනවා. සියලු දේශපාලනඥයන් නෙවෙයි සියලු නිලධාරීන් නෙවෙයි. නමුත් ඉහළ ඉඳලා පහළට හොරකම පහළට පුරුදු වුණා.

හෙට දවස වෙනුවෙන් හොඳ දේශපාලන පරපුරක් හැදුවේ නැත්නම් මේ රටේ මොන තරම් සම්පත් තිබුණත් මේ රට ගොඩනඟන්න පුළුවන් වෙන්නේ නැහැ.
මේ රට හදන්න හොඳ ප්‍රාදේශීය සභාවන් පත් කර ගත යුතුයි. හොඳ ප්‍රාදේශීය සභාවන් කියන්නේ හොඳට වැට හදලා බිත්ති ලස්සනට පාට කරපු සභා නෙවෙයි. ජනතා හඬට කන් දෙන ජනතා ප්‍රශ්න හඳුනගෙන ජනතා අවශ්‍යතා ඉටු කරන ප්‍රාදේශීය සභාවලටයි. ආණ්ඩුවක් වුණාම රටේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නයට කන් දෙන්න ඕන. කටුනායක කම්කරුවෝ එළියට ඇවිත් සටන් කරනකොට වෙඩි තිබ්බා. රතුපස්වල වතුර ඉල්ලද්දී වෙඩි තිබ්බා. ඉතිහාසයේ කටයුතු කළේ ඒ ආකාරයටයි. සයිටම් ප්‍රශ්නයත් සමඟ සතියකට දින දෙක තුනක් ශිෂ්‍යයෝ කොළඹ පාරවල් වට කළා. සමහර අය ආණ්ඩුව හදන්නේ ශිෂ්‍ය බිල්ලක් ගන්නයි කියලා.

අවසානේ ඒ ප්‍රශ්නය විසඳුවා. තව පොඩි පොඩි අඩුපාඩු ඉතිරි වෙලා තියෙනවා. ඒවත් විසඳනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ජනමාධ්‍ය නිදහස තහවුරු කළ පැහැදිලි පාලනයක් ඇති කර තිබෙනවා.
මතුගම - වසන්ත කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon