බැංකු පෞද්ගලීකරණයට විරෝධය පා රජයේ බැංකු සේවකයෝ විරෝධතා පා ගමනක

  👤  3342 readers have read this article !
By mawbima 2018-01-16

මහනුවර- නදීක දයා බණ්ඩාර

රාජ්‍ය බැංකු පද්ධතිය පෞද්ගලීකරණය කිරීමට විරෝධය පළ කරමින් රජයේ බැංකු සේවකයෝ ඊයේ (15දා) මහනුවර නගරයේදී විරෝධතා පා ගමනක නිරත වූහ.
අය-වැය යෝජනා මඟින් රජයේ බැංකුවල කොටස්වලින් සියයට දහයක් තැන්පත්කරුවන්ට ලබාදීම, බැංකුවල ගනුදෙනුවලින් සෑම රුපියල් දහසකටම සත දහයක මුදලක් අය කර ගැනීම ඇතුළුව මෙරට ආර්ථිකයට බලපාන කරුණු 19ක් සම්මත කර ගැනීම නිසා රාජ්‍ය බැංකු පද්ධතිය අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි විරෝධකරුවෝ පැවසූහ.
රාජ්‍ය බැංකු උපයන මුදල් මහ භාණ්ඩාගාරයට ලබාදෙන බවත්, ඒ මුදල්වලින් පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම, මාර්ග සංවර්ධනය වැනි රාජ්‍ය සුබ සාධන කටයුතු රැසක් දියත්වන බව විරෝධතා පාගමනට එක් වෙමින් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති ටී.ජී. ඩබ්ලිව්. ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
යම් අයුරකින් රාජ්‍ය බැංකු පද්ධතිය පෞද්ගලීකරණය කළහොත් සුබ සාධන ක්‍රියාවලිය අඩපණ වෙනවා පමණක් නොව රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා අර්බුදයක් වනු ඇතැයි ඒ මහතා කීවේය.

අය-වැය යෝජනා මඟින් රාජ්‍ය බැංකු පද්ධතියට එල්ල කර ඇති අභියෝග පිළිබඳව කරුණු දැනුවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියත්, මේ දක්වා කිසිදු පිළිතුරක් නොලැබුණු බැවින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කළ බව සභාපතිවරයා කීවේය.
මහනුවරින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදී දීප ව්‍යාප්තව සිදුකරන බවත්, මේ සඳහා මහනුවර, කොළඹ, කෑගල්ල, නුවරඑළිය, මාතලේ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක රාජ්‍ය බැංකු සංගමයට අයත් බැංකු 19ක නියෝජිතයන් සහභාගි වූ බවත් ඒ මහතා කීවේය.

මහනුවර ලංකා බැංකුව අසලින් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය දළදා වීදිය, ඇහැළේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ ගමන් කොට බෝගම්බර ක්‍රීඩාංගණය වෙත ප්‍රවේශ විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon