හඳුනා නොගත් රෝගයකින් ඔත්පළ වී 45 වසරක් තිස්සේ දුක් විඳින දියණියට පිහිටක් වෙන්න

  👤  3215 readers have read this article !
By mawbima 2018-01-16

හඳුනා නොගත් දරුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් උපන් දා සිට වසර 45කට ආසන්න කාලයක් තිස්සේ තම නිවෙසටම කොටු වී සිටින කාන්තාවක් මීගහකිවුල - කැටවත්ත ගමේදී අපිට හමුවිය.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ගම් පියසක් වන මොරහෙල - කැටවත්ත - සීලංගහවත්ත නිවෙසේ පදිංචි රෝහිණී සේපාලිකා මෙනෙවිය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී සිටින්නීය.
අසාමාන්‍ය අයුරින් දෙපා සහ සිරුරේ පිටුපස කොටස විශාල වීම මෙම රෝගී තත්ත්වයට හේතුවී ඇතැයි රෝහිණී සේපාලිකාගේ මව ඩී.එම්. කරුණාවතී මහත්මිය හැඬ­ූ කඳුළින් කියා සිටියාය.
මෙම අසාමාන්‍ය රෝගී තත්ත්වය නිසාම ඇයට කුඩා කල සිටම සමාජයෙන් එල්ල වූ අපවාද නිසා අධ්‍යාපනය ලැබීමේ වරමද අහිමිව වසර 42ක් තිස්සේ බිත්ති හතරකට කොටු වී හුදෙකලාව කල් ගෙවීමට සිදුව ඇතැයිද ඇය කීවාය.

එසේම කිසිදු ආදායම් මාර්ගයක් නැති තමුන්ට ඇය ජීවත්කරවීමට සිදුව ඇතැයිද කරුණාවතී මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
ඒ ගැන ඇය මෙසේද කීවාය.
මහත්තයෝ මට දුවල, පුතාල හතර දෙනෙක් ඉන්නව. මේ මගේ තුන්වැනි දරුවා. මෙයා සාමාන්‍ය දරුවෙක් විදියට ඉපදුණත් ලොකු වේගෙන එනකොට මේ රෝගී තත්ත්වය මතුවෙන්න පටන් ගත්තා.
මුලින්ම මෙයාට ලෙඩක් තියෙන බව අපි දැනගත්තේ කකුල් දෙකේ අසාමාන්‍ය විදියට තිබුණු ඇඟිලිවලින්. ටික කාලයක් යනකොට කකුල් බරව ලෙඩේ හැදිල වගේ ලොකු වුණා. ඊට පස්සේ පසුපස කොටසේ ගෙඩියක් ආව වගේ විශාල වුණා.
මේ අසාමාන්‍ය තත්ත්වය ගැන අපි බදුල්ල රෝහලේ වෛද්‍යවරුන්ට කීව. දරුව පෙන්නුව. ඒත් අපිට හරි උත්තරයක් ලැබුණේ නැහැ. ඒ කාලේ හම්බකරපු හැම සතේම මෙයා වෙනුවෙන් වියදම් කළා.

මගේ කෙල්ල වසර 42ක් තිස්සේ ශාරීරිකව වගේම මානසිකවත් මේ බිත්ති හතරට කොටුවෙලා මහ පුදුම දුකක් විඳිනවා. අපිට යමක්කමක් තේරුමක් තිබුණ නම් මේ දරුවා මේ විදියට දුක් විඳින්නේ නැහැ.
මහත්තයො අපි හරිම දුප්පත් මිනිස්සු. රජයෙන් ලැබෙන සමෘද්ධි දීමනාව ඇරුණම ජීවත් වෙන්න වෙන ආදායමක් නැහැ. පවුලේ අනෙක් දරුවොත් ජීවත් වෙන්නේ ගොවිතැනින්. ඒ අයටත් මේ දරුව වෙනුවෙන් කිසි දෙයක් කරන්න වත්කමක් නැහැ. මම වගේම දරුවගේ තාත්තත් නිතර ලෙඩ වෙනව.
මේ ගැටලු නිසා මෙයාට බේත් හේත් කරනව තියා වේලක් ඇර වේලක් කන්න කීයක් හරි අපි හොයාගන්නෙත් හරිම අමාරුවෙන්.
දරුවගේ මේ රෝගී තත්ත්වය නිසා එයා නිතරම ඉන්නේ දුකින්. ඒ වගේම මහා වේදනාවකින්. ගෙදරට කොටුවෙලා ඉන්න එයාට මේ අවුරුදු ගාණටම හරියට නිදා ගන්න තියා වාඩිවෙලා ඉන්නත් තත්ත්වයක් නැහැ.

අඩුම තරමේ මෙයාගේ මේ දුක පාළුව යන්න මොකක් හරි ස්වයං රැකියාවකට හරි යොමු කරල මෙයාට ජීවත් වෙන්න හොඳ මාර්ගයක් හදල දෙනව නම් ලොකු පිනක්.
සේපාලිකාගේ දුරකතන අංකය - 0555 750 968
සේපාලිකාගේ ලිපිනය - රෝහිණී සේපාලිකා, සීලංගහවත්ත, කැටවත්ත, මීගහකිවුල
මීගහකිවුල - රුවන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon