මගේ පුතාට ජීවත් වෙන්න ලැබුණෙ ‘මව්බිම’ පත්තරේට පින් සිද්ධ වෙන්නයි: දැන් අපිට සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන්

  👤  3351 readers have read this article !
By mawbima 2018-01-16

2016 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා හදිසි රිය අනතුරකට ලක්ව පියවි සිහියත් නොමැතිව ලෙඩ ඇඳට වැටී, රෝගී වී සිටි පුංචි පුතකු පිළිබඳව "මව්බිම" පුවත්පතේ ඉතාමත් දුක්බර ලිපියක් පළ විය. ඒ පසුගිය වසරේ ජනවාරි මස 23 වැනිදාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 175/1, ඉහළ ගිරිබාව, පහළ ගිරිබාව, ගල්ගමුව ලිපිනයේ පදිංචි ආර්.එම්.බී. දසුන් සයුරංග බණ්ඩාර පුංචි පුතු පිළිබඳවය. නිවෙස ඉදිරිපස මාර්ගයේ සෙල්ලම් කරමින් සිටියදී ඔහුගේම ඥාතියකුගේ යතුරුපැදියක ගැටී හිස්කබලට සිදුවූ විශාල හානියක් නිසා ඔහුගේ මතකය පවා සම්පූර්ණයෙන්ම නැතිවී ගොස් ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් වෛද්‍ය ප්‍රතිකාර මැද දිවි ගෙවමින් සිටියේය. අග හිඟකම් මෙන්ම එම දරුවාට විශාල මුදලක් ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් දැරීමට සිදුවීමත්, අනෙක් දරුවන් දෙදෙනාගේ වියහියදම් කටයුතු ආදී කාර්යයන් නිසා දසුන්ගේ මවුපියන් සිටියේ අන්ත අසරණ තත්ත්වයකට පත්වය. එහෙත් එවකට ගිරිබාව වනජීවී කාර්යාලයේ සේවයට කළ නිශාන් ජිනේන්ද්‍ර මහතාගේ හා තවත් අයකුගේ දැනුම්දීමක් මත "මව්බිම" පුවත්පතේ අප දසුන් සොයා ගියේ ඔහුට යම් උදව්වක් උපකාරයක් කළ හැකි දැයි සොයා බැලීමටය. ඒ යන විටත් දසුන් ඇඳ මත සිටින අයුරු අපගේද සිත් සසල කරවන්නට විය. ඔහුගේ මවත් පියාත් තම රෝගී දරුවා වෙනුවෙන් කඳුළු සලමින් පිහිටක් පිළිසරණක් පතන'යුරු ඔවුන්ගේ දෑසින් ගිලිහෙන කඳුළු සාක්ෂි දැරීය. පවුලේ දරුවන් තිදෙනාගේ දඟකාරම දරුවා වූ දසුන් වැඩිමහල් සොහොයුරකු හා බාල සොහොයුරකුගේ දෙවැන්නා විය. එහෙත් ඔහුට අත්වූ ඉරණම නම්

ඉතා දුක්බර කනගාටුදායක සිදුවීමක් විය. හිස් කබලට සිදුවූ අනතුරෙන් එහි විශාල කොටසක් හානි වී තිබිණි. කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දින 35ක් හා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දින 18ක් ඔහුගේ ප්‍රතිකාර කටයුතු සිදුවිය. ඒ වන විට හිසේ දකුණු පස කොටසේ කොටසක් ඉවත් කර තිබිණි. වෛද්‍යවරුන් කියා සිටියේ දරුවාගේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ හයහමාරකට ආසන්න මුදලක් වැය වන බවයි. නමුත් දැඩි අගහිඟකම් මැද දිවි ගෙවන දසුන්ගේ මවුපියන්ට එය සොයා ගැනීම විශාල අභියෝගයක් වී තිබිණි. අප ඔවුන්ගේ නිවෙස සොයා ගොස් දසුන් ගැන මුළු රට හමුවේම තැබුවේ එවන් අවස්ථාවකදීය. පුවත පළවූ දින පටන්ම මේ අහිසංක දරුවා වෙනුවෙන් උදවු උපකාර කරන්නට ඉදිරිපත් වූ අය බොහෝ වූහ. අසරණ දසුන් වෙනුවෙන් උදවු උපකාර කරන්නට දෙස් - විදෙස් රටවල ජීවත්වන පින්වතුන් බොහෝ දෙනකු එක් රොක් විය. දැන් ජීවිතය යළිත් පණ ගසා ගන්නට කෙළි‍ෙදාළෙන් දුව පැන සෙල්ලම් කරන්නට වෙනදා මෙන් තම මිතුරන් සමඟ පාසල් යන්නට දසුන්ට වාසනාව ලැබෙමින් තිබේ. මතකය සම්පූර්ණයෙන්ම නොමැතිව ඇඳක් මත වැටී උන් දසුන්ට අද පියවි සිහියත් ලැබී වචන ගැට ගසාගෙන යම් යම් දෑ කියන්නට තරම් වාසනාවක් ඔහුගේ දෛවය විසින් ලබාදී තිබේ.

"එදා අපි හිටිය තත්ත්වය තේරුම් අරගෙන "මව්බිම" පත්තරෙන් අපේ ගෙදරට ආවේ නැත්නම් අපිට අද මේ වගේ සැනසීමේ හුස්මක්වත් ගන්න ලැබෙන්නෙ නෑ. මොකද පුතාගේ සැත්කම වෙනුවෙන් ඕනෙ මුදල් හොයාගන්න අපිට හැකියාවක් තිබුණේ නෑ. මගේ සැමියාත් එදිනෙදා ලැබෙන වැඩක් තමා කළේ. නමුත් "මව්බිම" පත්තරේ මේ පුවත ගියාට පස්සේ ලංකාවේ බොහෝ දෙනෙක් අපට කතා කළා. ගොඩක් අය උදවුු කළා. මාස තුනක් පමණම සිහිය නැතිව හිටිය, ඇඳට වැටිලා හිටිය මගේ රත්තරන් පුතාව සුවපත් කරගන්න පුළුවන් වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් ඇති වුණේ ඊට පස්සෙ. ඒ වගේම ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවලිනුත් අපිට කතා කළා. එ් අයත් පුතාගේ සැත්කමට යන මුදල් අපිට ලබා දුන්නා. අපි හිතුවෙත් නැතිතරම් ඉක්මනට මගේ පුතාගේ සැත්කම කරන්නත් අපිට පුළුවන් වුණා. දැන් පුතා ඇත්තටම සුව අතට පත්වෙලා ඉන්නවා. පුතාව සතියකට සැරයක් ගල්ගමුව රෝහලට එක්ක යනවා ව්‍යායාම කටයුතු කරන්න. ඒ වෙනුවෙන් ගම්පහ මහත්තයෙක් ත්‍රීවීල් රථයක් අරන් දුන්නා. ඉතින් ඒ වගේ උදවු උපකාර රාශියක් අපිට ලැබුණා. "මව්බිම" පත්තරේ මේ කරපු සත්කාරය නිසා අද මගේ පුතාට මතකය තියෙනවා. "එදා මගේ පුතා ගැන "මව්බිම" පත්තරේ රටට කිව්වෙ නැත්නම් අද අපිට මොන විදියට ජීවත් වෙන්න වෙයිද කියලා කියන්න බෑ මහත්තයෝ. අද මගේ පුතා කතා කරලා හිනා වෙලා ඉන්නවා දැක්කාම තාත්තා කෙනෙක් විදියට මට දැනෙන සතුට මෙච්චරයි කියලා මට කියන්න බෑ. ඉතින් ඒ සතුට අපිට ගෙනැත් දුන්නේ "මව්බිම" පත්තරේ. පුතාගේ සැත්කම කරන්න අවශ්‍ය සියලුම මුදල් අපිට විවිධ පළාත්වල මහත්වරු මහත්මීන් අපි ලබා දුන්නා. පිටරට මහත්තයෙක් පුතාට විසබීජ නැතිව ඉන්න පුළුවන් වෙන්න වායුසමීකරණය කරපු කාමරයකුත් සකස් කරලා දුන්නා. එයාට ටී.වී. අරන් දුන්නා. මගේ පුතා ජීවත් කරවන්න මේ කරපු උතුම් කටයුත්තට "මව්බිම" පත්තරේට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ පුතා ජීවත් කරන්න උදවු උපකාර කරපු හැම දෙනාටමත් මම පින් ලබා දෙනවා" යැයි කියා සිටියේ දසුන්ගේ පියා වන එම්.බී. සෙනරත් බණ්ඩාර මහතාය.
මිලින වූ මල් කැකුළක් වෙනුවෙන් පිපෙන්නට ජීවය දී පැහැබර අනාගතයක් දකින්නට මේ පුංචි සමනල් පැටවාට පිහිට වූ සියලු දෙනාටම අත්වූයේ විශාල පිනකි. දසුන් පුතුගේ අනාගතය සාර්ථක වේවායි "මව්බිම" පුවත්පතේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමු.

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon