රනිල්ගේ විශේෂ ප්‍රකාශය නිසා ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ කඩා වැටෙනවා

  👤  2882 readers have read this article !
By mawbima 2018-01-15

අගමැතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ 2008 - 2014 කාලය තුළ බැඳුම්කර වංචා සත්‍ය වශයෙන්ම සිදුවී ඇතිදැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහ බැංකු අධිපතිවරයා රට හමුවේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

එසේ නොවුණහොත් ඉදිරියේදී ලෝක මූල්‍ය වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාවට ණයක් පවා ලබාගැනීමට නොහැකි වන බවට මන්ත්‍රිවරයා අනතුරු ඇඟැවීමක්ද කළේය.
ඊයේ (14දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ගෙවුණු සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේම ඉල්ලීම අනුව පාර්ලිමේන්තුවේ අති විශේෂ සභා වාරයක් කැඳවලා ලෝකයට ඉතා වගකීමෙන් යුතුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය කරණ කොටගෙන ශ්‍රී ලංකා ආණ්ඩුව නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත් සහ සුරැකුම් පත් පිළිබඳ අවිශ්වාසයක් ඇතිවීම නිසා ලබන සතියේ සිට ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ මුළුමනින්ම කඩා වැටෙනවා. අබිරහසක් හෙළිකිරීමක් ලෙස තමයි මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ. බැඳුම්කර හොරකම වසාගැනීම සඳහා 2008 සිට 2014 දක්වා කාලය තුළ රුපියල් බිලියන 4702ක රජයේ සුරැකුම්පත් නිකුත් කර තිබෙන ආකාරය විනිවිදභාවයෙන් තොර බවත් අනුමැතියකින් තොරව විවිධ වංචා දූෂණ අක්‍රමිකතා ඇතිවන ආකාරයට නිකුත් කර ඇති බවත් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම ප්‍රකාශනයට අනුව එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ලංකාවේ කිසිම අග්‍රමාත්‍යවරයෙක් ඉදිරිපත් නොකළ ආකාරයේ මහා චෝදනාවක්. ආයෝජකයන් රජයේ සුරැකුම්පත් මිලදී ගන්නේ 100%ක්ම විශ්වසනීයත්වයෙන් යුතු නිසා. 2008 සිට 2014 දක්වා රුපියල් බිලියන 4702ක බැඳුම්කර වංචා සිදුව තිබෙනවා නම් අද සිට විදේශ ආයෝජකයන් තමන් ආයෝජනය කළ මුදල් ආපසු රැගෙන යෑමට පටන් ගනියි.

මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ යුගයේදී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ණය ලබාගැනීමේදී නිකුත් කළ සුරැකුම්පත් නිකුතුවේදී සත පහකවත් වංචාවක්, දූෂණයක්, හොර අක්‍රමිකතාවක් සිදුවෙලා නැහැ. ඒ ආකාරයට බිලියන 4702ක මහ පරිමාණ වංචනික ක්‍රියාවලියක් තුළින් රජය මුදල් ලබාගෙන තිබෙනවා නම් එයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මමත්, නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා, චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් අමුණුගම ඇමැතිවරු ඇතුළු සියලුදෙනා වගඋත්තරකරුවන් වෙනවා. සාමූහික වගකීම යටතේ රජය වෙනුවෙන් රජයේ මූල්‍ය උපදේශකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තරව හා දේශීයව ණය ලබාගැනීමේදී අපේ කාලයේ මෙහෙම හොරකමක් වෙලා තිබෙනවා නම් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයාට පමණක් එහි වගකීම භාරදෙන්න අපිට පුළුවන්කමක් නැහැ.
එහෙම නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ මමත් ඇතුළුව පසුගිය ආණ්ඩුවේ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමයි. මොකද මෙතරම් විශාල වංචාවක් සිදුවිය නොහැකියි.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළ බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ඉෂාරා සිල්වා
ඡායාරූප - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon