ශ්‍රී ලනිපයයි ආණ්ඩුවයි දෙකම මම ශුද්ධ කරනවා

  👤  2796 readers have read this article !
By mawbima 2018-01-15

තමන් පැමිණියේ ජනාධිපති පුටුවේ වැජඹෙන්න නොවන බවත් අද වුවත් මෙම තනතුර හැර ගොස් මේ රටේ ජනතාව සමඟ ජනතාවාදී ගමනක් යෑමට ඕනෑම මොහොතක තමන්ට හැකියාව තිබෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගිය 12 වැනිදා තිස්සමහාරාමයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැලිය අමතමිනි.

තනතුරු මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ ජීවිත කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරය තුළ කොටස්කරුවෙක් විදියට, නියමුවෙක් විදියට තනතුරු තිබුණත් නැතත් මම මේ රටේ ප්‍රගතිශීලී ජනතාවත් එක්ක දිවි හිමියෙන් කටයුතු කරන බවද ශ්‍රී ලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී කියා සිටියේය.
'කවුරුවත් බය වෙන්න එපා මේ රටේ මැතිවරණයක් තිබ්බොත් ජනතාව දෙන තීන්දුව අපි අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ජනමතයට ගරු කරනවා. ඒ වගේම තමයි අධිකරණය මඟින් විනිශ්චයකාරතුමන්ලා දෙන ඕනෑම තීන්දුවක් අපි ඉතාම ගෞරවයෙන් භාර ගන්නවා. මට අවුරුදු හතරද, පහද, හයද, කිසිදු භේදයක් නැහැ. මම ආවේ මෙම පුටුවේ වැජඹෙන්න නෙවෙයි. මම ලෑස්තියි හෙට නෙවෙයි අද වුණත් මේ තනතුරෙන් යන්න ජනතාවත් එක්ක ජනතාවාදී ගමනක් සඳහා මේ ගමන ශක්තිමත් කරන්න.

මා ඉතාමත් සතුටු වෙනවා කාලයකට පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයට ඇවිල්ලා මෙම ප්‍රදේශයේ ජනතාව හමුවන්න ලැබීම ගැන. මේ රටේ රජවරුන් රජකම් කළ යුගයන්හි හම්බන්තොට මාගම්පුර මේ ප්‍රදේශයන් ඒ ඓතිහාසික වටිනාකම් සමඟ අපේ රටේ ඉතිහාසයේ ශේ‍ර්ෂ්ඨත්වය කියා පාන ප්‍රදේශයක්.
ගෙවී ගිය දසක කිහිපය ගතහොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත් වන වාම ප්‍රගතිශීලී දේශමාමක ආදරණීය ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තදින් බැඳුණු ජනතාවක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතරේ තිබෙන්නේ ගසට පොත්තත් පොත්තට ගසත් හා සමාන සම්බන්ධතාවක් බවද හෙතෙම කියා සිටියේය.'
ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

'ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එදා එස්. ඩබ්ලිව්. බණ්ඩාරනායක මැතිතුමා සමඟ එජාප ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයේ වාඩි වෙලා එදා දුන්න නායකත්වයේ සිට අද දක්වාම හම්බන්තොට ජනතාව තමුන්නාන්සේලාගේ ප්‍රදේශයන් තුළත් දිස්ත්‍රික්කයේත් රට වශයෙනුත් ගත් කල තියෙන්නේ ගෞරවනීය සම්බන්ධයක්. ඒ ගෞරවනීය සම්බන්ධය තව තවත් ශක්තිමත් කරන්නට තමයි මේ දිස්ත්‍රික්කයට කිසිදාක නොලැබුණු සන්ධානයේ මහලේකම් ධුරය මහින්ද අමරවීර මැතිතුමාට මම පිරිනැමුවේ.

අද තමුන්නාන්සේලාට පක්ෂය විවෘතයි. අද පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීයි. අද පක්ෂය නිදහස්. අද පක්ෂයේ උස් මිටි ලොකුකම් ප්‍රභූ පන්ති භේද නැහැ. 1965 බණ්ඩාරනායක මැතිතුමා, ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එදා කරන ලද සමාජ පෙරළියේදී පොඩි මිනිහා උඩට ගැනීම ප්‍රභූ පන්තියට තිබුණු වරප්‍රසාද ගොවි ජනතාව කම්කරු ජනතාව ප්‍රමුඛ රටේ වැඩ කරන පන්තියට ලබාදීමට ගෙන ගිය ඒ සටනේ ප්‍රතිඵල නිසා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පසුගිය දසක හයකට වැඩි කාල සීමාවක් රටේ නායකයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ඒ සෑම කෙනෙක්ම බිහි වුණේ.

'අපිට පළාත් පාලන මැතිවරණයකට ගමේ ඡන්දයකට මුහුණ දෙන්න වෙලා. මේ ඡන්දය තමුන්නාන්සේලා දන්නවා ගමට වැඩ කරන මහජන නියෝජිතයෙක් තෝරා ගැනීමටයි පවත්වන්නේ. ඒ ගමට වැඩ කරන මහජන නියෝජිතයා තමුන්නාසේලාට නම්‍යශීලී වූ පිරිසුදු අවංක ජනතාවාදී මහජන සේවකයෙක් වෙන්න ඕන. මේ රටේ ඡන්දයෙන් පත්වන ආයතන හතරක් තියෙනවා. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව, ජනාධිපති ධුරය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ලංකා සම සමාජ පක්ෂයෙන් තරග කරලා මන්ත්‍රිවරයෙක් විදියට නගර සභාවේ ඉඳල අවසානයේ ජනාධිපති වුණා. එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා නගාරික මන්ත්‍රිවරයෙක් විදියට දේශපාලනයට නැඟ ඇවිල්ලා රටේ අගමැති වුණා. රණසිංහ ප්‍රේමදස ජනාධිපතිතුමා කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් වෙලා පසුව ජනාධිපති ධුරය ලබා ගත්තා.

මේ ගම හදන්න ගමේ ජනතාවට සේවය කරන්න අපි තෝරාගෙන ඉන්න මේ අපේක්ෂක මහත්ම මහත්මීන් හෙට දවසේ මේ රටේ අනාගතය භාරගන්න පිරිස ප්‍රාදේශීය සභාවේ ඉඳලා ජනාධිපති ධුරය දක්වා නමුත් ඒ අයට මම කියනවා තමුන්නාසේලා ඉදිරියේම මුලින් වැඩේ හරියට කෙරුවොත් හරි ඔතන ඉඳන් යන්න තියෙන ඉහළටම යනවා. ඒ වගේම වැඩේ වරද්දගත්තොත් වැරැදි කරලා අහුවුණොත් ඔතැනින්ම ගෙදර යවනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ඒ නිසා විනයගරුක හික්මීමක් ඇති ආචාරශීලී ජනතාවාදී මහජන ආයතනවලට නියෝජිතයන් අපි පත් කරන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට. එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට පක්ෂ විනය නිසි ලෙස හරි හැටි ඕනෑම කෙනකුට මම තදින් ක්‍රියාත්මක කරනවා. කිසිම කෙනකුට සමාවක් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි රටේ නීතිය මොන දේශපාලන පක්ෂයේද මොන තනතුරේද පුද්ගලයා කවුද ඒ කිසිවක් නොබලා රටේ නීතිය ක්‍රියාත්මක කරනවා. එම නිසා වැරැදි කරන ඕනෑම කෙනකුට දඬුවම් දෙන්න ඒ ගැන කිසිදු භේදයක් නැහැ.

මේ දවස්වල ලොකු ඝෝෂාවල් දානවා. මගේ නිල කාලය පිළිබඳ මත විමසුම සම්බන්ධයෙන්. මීට කලින් හිටපු ජනාධිපතිවරුත් ඔය මත විමසුම කළා. 19 වැනි සංශෝධනය තුළ මගේ නිල කාලය සම්බන්ධයෙන් පක්ෂයේ මත දෙකක් තියෙනවා. නීති අංශවල මත දෙකක් තියෙනවා. මේ ගැන උගතුන්ගේ විවිධ මත දෙකක් තියෙනවා. රටේ සංවර්ධන සැලැසුම් හැදීමේදී මගේ නිල කාලයන් තුළ කළ යුතු කාර්යයන්වල කළ යුතු සැලැස්ම පිළිබඳව අපිට තීරණයක් ගත යුතු වෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනවලට අනුව නිල කාලය පිළිබඳ දැන ගන්න ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මත විමසුමකට ලක්කළා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිගරුක වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක්. මේකට සමහර අය කලබල වෙලා. විරුද්ධ පක්ෂයේ අය පමණක් නොවෙයි ආණ්ඩුවේ සමහර අයත් කලබල වෙලා.
ලෝකයේ හුඟක් දියුණු වෙච්ච රටවල් තරමට අපේ රටට ඉහළට යන්න බැරි වෙච්ච කාරණාව උගතුන්, බුද්ධිමතුන්, ප¾ඩිවරුන් සියලු සොබාවික සම්පත් ඇතුළු සම්පත් අපේ රට තුළ කොතෙක් තිබුණත් අපේ දේශපාලන සංස්කෘතියේ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.
පසුගිය දසක කීපය ගත් විට හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, රාජ්‍ය දේපළ අවභාවිතය බරපතළ විදියට පාවිච්චි කරලා මේ රටේ දේශපාලනඥයන් කෙරෙහි ජනතාවගේ විශ්වාසය කඩ වෙලා තිබෙනවා.

දේශපාලනඥයාගේ හැසිරීම තුළ රාජ්‍ය නිලධාරීන් ඒ මඟ ගමන් කරන්න පටන් ගෙන තිබෙනවා. මේ කියන්නේ සියලු දේශපාලනඥයන් නෙවෙයි, මේ කියන්නේ සියලු රාජ්‍ය නිලධාරීන් නෙවෙයි. මොකද දේශපාලනඥයන්ගේ ආදර්ශය රාජ්‍ය නිලධාරීන්ට, රටේ ජනතාවට ඉතා වැදගත් වෙනවා. මම ජනාධිපති ධුරයට පත්වෙලා කොමිෂන් සභා දෙකක් පත් කළා. ඉන් එකක් තමයි මහ බැංකු වංචා බැඳුම්කර කොමිසම. ඒ වාර්තාවල තිබෙන කරුණු අනුව මොන දේශපාලන පක්ෂයේද, ශ්‍රී ලංකාද, යූ.එන්.පී. ද මොන පක්ෂයේද මට කිසිම පක්ෂ භේදයක් තනතුරක් කිසිම භේදයක් නෑ. ඒ සියලු දෙනාට නීතිමය වශයෙන් දඬුවම් කළ හැකි සියලු ක්‍රියාමාර්ග මම ගන්නවා කියන්න ඕනි.
මම තව සතියකින් පමණ මිහින් එයාර් හා ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනවල දුෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනවා. සිදු වූ වංචා දූෂණ පිළිබඳව කොමිෂන් සභාව පත් කරලා වැඩ පටන් ගත්තම කාගේ කාගේත් තත්ත්වය පෙනෙයි. සුද්ධෝදනලා කවුද කියලා හෙළි වෙයි. ඒ නිසා ඉතා පැහැදිලිව ශ්‍රී ලනිපය පිරිසුදු කරනවා වගේම ආණ්ඩුවද පිරිසුදු කරන බව ඉතාම පැහැදිලිවම කියන්න කැමැතියි.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, තිස්සමහාරාම - රොෂාන් රාජික

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon