තොරණගහපිටියේ රිය අනතුරකින් 7 හැවිරිදි සිසුවියක් මරුට

  👤  2899 readers have read this article !
By mawbima 2018-01-15

සීතාවක - අරන්දර දිසනායක
කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ
දමුණුපොළ - චමින්ද ජයලත්

කෑගල්ල - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ අටාල, තොරණගහපිටිය ප්‍රදේශයේදී සිදුවූ බරපතළ රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් මියගොස් තවත් කාන්තාවක් සහ දැරියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පින්දෙණිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ කෑගල්ල, බෝයගොඩ පදිංචිව සිටි අරන්දර කනිෂ්ඨ විද්‍යාලයේ 2 ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබමින් සිටි එම්.පී. චමුදි සඳසරණී බණ්ඩාර නමැති 07 හැවිරිදි දැරියකි. බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ බෝයගොඩ පදිංචි ඒ. කුසුමාවතී නමැති 60 හැවිරිදි තිදරු මවක් හා ඇගේ සිවු හැවිරිදි මිනිබිරිය බව පොලිසිය කියයි. එම දැරිය දැනට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගොස් ඇති දැරියගේ මව පෙරේදා (13දා) පෙරවරුවේ සිය වැඩිමහල් පිරිමි දරුවා තොරණගහපිටිය ප්‍රදේශයේ අමතර පන්තියකට රැගෙන ගොස් ඇත්තේ මියගිය දැරිය සමඟය. බරපතළ තුවාල ලබා ඇති ඒ. කුසුමාවතී මහත්මියද මිනිබිරිය සමඟ ඇගේ වැඩිමහල් සහෝදරියද දරු දෙදෙනා අමතර පන්තියට ඇතුළත් කර පන්තිය අවසන් වන තුරු අසල රැඳී සිට ඇත. පසුව මියගොස් ඇති දැරිය මව සමඟත් බරපතළ තුවාල ලබා ඇති කුසුමාවතී සිවු හැවිරිදි මිනිපිරිය සමඟත් අමතර පන්තිය අවසන් වූ පසු දරු දෙදෙනා ගැනීමට පන්තියට යමින් සිටියදී මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයට දැරියත් අසල්වැසි කුසුමාවතීත් ඇගේ සිවු හැවිරිදි දැරියත් යට වී තිබිණි. මියගිය දියණියගේ මව චන්ද්‍රලතා කානුවකට පැන දිවි බේරා ගෙන ඇත. පසුව මියගිය දැරිය බස් රථයේ පිටුපස රෝදයට යටවී ඉදිරියට ඇදී ගොස් තිබුණු අතර කුසුමාවතී හා ඇගේ සිවු හැවිරිදි දැරිය මාර්ගයේ වැටී තිබිණි. පසුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් බස් රථයට යට වී සිටි දැරිය බස් රථය උස්සා ඉවතට ගෙන ඇත. ඒ වන විටත් දැරිය මියගොස් සිටි බව පොලිසිය කියයි. පසුව පොලිසිය මැදිහත් වී මියගිය දැරියගේ දේහය තොරණගහපිටිය ග්‍රාමීය රෝහලටත් බරපතළ තුවාල ලැබූ මිත්තණිය සහ මිනිබිරිය කෑගල්ල මහ රෝහල වෙත එවීමට කටයුතු කෙරිණි.

අනතුර සම්බන්ධයෙන් සාධාරණ පොලිස් පරීක්‍ෂණයක් පින්දෙණිය පොලිසිය විසින් සිදු නොකළා යැයි පවසා ප්‍රදේශයේ අති විශාල ජනකායක් කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගය වසා ටයර් පුලුස්සා විරෝධතාවක් ආරම්භ කෙරිණි. පසුව විරෝධතාකරුවන්ගේ විරෝධතාව හේතුවෙන් මියගිය දැරියගේ මෘත දේහය කෑගල්ල මහ රෝහල වෙත රැගෙන යෑමට අවස්ථාවක් ලබානොදුන් අතර මෘත දේහය පෙරේදා (13දා) රාත්‍රියේ රැගෙන ගොස් තිබිණි. අනතුර සිදුවූ මොහොතේ සිට කුපිත වූ ප්‍රදේශයේ ජනයා පෙරේදා (13දා) රාත්‍රියේත් මාර්ගය අවහිර කරමින් රැඳී සිට ඇති අතර පසුව පොලිසිය හා විශේෂ කාර්ය බළකාය පැමිණ ඊයේ (14දා) අලුයම විරෝධතාකරුවන් හට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කෙරිණි. කඳුළු ගෑස් එල්ල කිරීමේදී හිස් කොපු අසල්වැසි නිවාසලවල වහලවල් ගණනාවකට වැටී ඇස්බැස්ටෝ සීට් බිඳී ගොස් ඇති බව වාර්තා වේ.

සැකකාර බස් රථ රියැදුරු පින්දෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 23දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon