දරුවාට කිරිපිටි ටික ලබා දෙන්න කෙනෙකු ඉන්නවා නම් ලොකු පිනක්

  👤  2795 readers have read this article !
By mawbima 2018-01-15

මිනිසකු මෙලොව උපන් මොහොතේ පටන් වැඩිවියට පත් වන විට අවධි කිහිපයක් පසු කරයි. උපන් මොහොතේ පටන් මවු කිරිවලින් පෝෂණය වන දරුවකු ක්‍රමයෙන් වැඩිවියට පත්වන විට ආහාරවලට හුරු වීම සාමාන්‍ය ජීවන ක්‍රමයේ සිදුවීමකි. නමුත් එවැනි හුරු වීමක් නොමැතිව උපන් දා පටන් පිටිකිරිවලින් පමණක් දරුවකු ජීවත් වන්නේ නම් එය අසාමාන්‍ය සිදුවීමකි. එවැනි දරුවකු අපට හමුවූයේ අහම්බෙනි. උපන්දා පටන් මවු කිරිවලින් වැඩී අවුරුදු 6ක් ගෙවා ආවද තවමත් බත් ඇටයකවත් රසක් නොදනී. මන්ද ඔහු ජීවත් වන්නේ පිටිකිරිවලින්ම පමණක් නිසා වීමය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාජාංගණය වම් ඉවුර යාය 2, සාලිය අශෝක පුර ලිපිනයේ පදිංචිව සිටින මෙම පුංචි පුතු නමින් නිශ්ශංකගේ ජනිත් නයන රංගන ජයරත්නය. මේ වන විට අවුරුදු 6ක වයසේ පසුවන මෙම කුඩා දරුවා පෙර පාසලේ අධ්‍යාපනය ආරම්භ කළේද මේ වසරේය. නමුත් ගැටලුවකට ඇත්තේ මෙම දරුවාගේ ආහාර රටාවය. ආහාර රටාවේ ඇති ගැටලුව නිසාම ඔහුගේ පාසල් යෑමේ සිහිනයද බොඳවී ගිය බව ඔහුගේ මව අප සමඟ කියා සිටියේ දැඩි වේදනාවකිනි.

"මට පුතා ලැබෙද්දී එයාගේ බර තිබුණේ කිලෝ 1යි ග්‍රෑම් 630යි මහත්තයෝ. මෙයා ලැබුණෙ අඩු උපත් බරින්. එහෙම වුණ නිසා මගේ කිරි උරලා බොන්න තරම් ශක්තියක් එයාට තිබුණේ නෑ. බටයක ආධාරයෙන් තමා එයාට කිරි පෙව්වේ. කොහොම හරි මෙයා ඉපදිලා මාස තුනක් විතරම මම අනුරාධපුර රෝහලේ මෙයා තියාගෙන හිටියා. ඊට පස්සේ රෝහලෙන් ගෙදර එක්ක ඇවිත් සතියකට දෙපාරක් මෙයා අරගෙන සායනවලටත් මමයි මහත්තයයි දෙන්නම ගියා. පුතා ටික ටික ලොකු වෙලා මාස 6ක් වෙද්දී ඒ විදිහට බෙරි බත් එක මම මෙයාට කැව්වා. එතැන ඉඳන් අවුරුදු එකහමාරක් වෙනකල් ඒ විදියට මෙයා කෑම කෑවා. නමුත් අවුරුදු එකහමාරෙදී මෙයාට බෙහෙතක් විද්දා. එතැනදී මෙයාට උණ හැදිලා දවස් 7ක් යනකල් හොඳ වුණේම නෑ. ඊට පස්සේ ඉඳන් තමා මේ විදියට කෑම නොකා කිරිපිටිවලින්ම ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් සතියකට කිරිපිටි පැකට් 8ක් විතර යනවා මෙයාට. ඇත්තටම මහත්තයෝ අපි පුතාගේ ඒ දේවල් සම්පූර්ණ කරන්නේ ගොඩක් ලොකු දුෂ්කරතා මැද්දේ. මට තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලා මෙහෙම නෑ. එයාලා හොඳට කෑම කාලා සාමාන්‍ය විදියට ඉන්නවා. නමුත් වෛද්‍යවරු පවා කියන්නේ මෙයාට ලෙඩක් නෑ බත්වලට හුරු කරවන්න කියලා.

ඒත් එයාට අපි කොයිතරම් බල කරලා බත් ටිකක්, බිස්කට් එකක් කවන්න හැදුවත් මෙයා කන්නේ නෑ. දවසට කිරි වීදුරු හයක් විතර යනවා. ඉතින් අපිත් ඉන්නේ ලොකු දුකකින්. මෙයා බත් ඇටයක්වත් නොකා මේ විදියට ඉද්දි අපිටත් හරියට කෑම කන්න බෑ. මේ වෙද්දි පුතා පෙරපාසල් යනවා. අනෙක්
ළමයි එක්ක සෙල්ලම් කරලා දුවලා පැනලා ඉන්නවා. ඒත් මෙයාගේ ආහාර රටාව ගැන අපිටත් වෙලාවකට බයක් තියෙන්නේ මහත්තයෝ. මම රැකියාවක් කරන්නේ නෑ. මහත්තයා එදා දවස වැඩ කරලා හොයන කීයක් හරි මුදලකින් තමා මමයි අම්මයි දරුවෝ තුන් දෙනයි සේරම ජීවත් වෙන්නේ. මම ඉල්ලා සිටින්නේ මගේ දරුවට කිරිපිටි ටික මිලදී ගන්න උදව්වක් උපකාරයක් කරන්න කියලා" යැයි ජනිත්ගේ මව වූ කේ. පී. ආර්. සුරංගිකා නිමාලි (32) මහත්මිය කියා සිටියාය.

ජනිත් පිළිබඳ තොරතුරු පැවැසූ ඔහුගේ පියා වූ එන්. ධම්මික වසන්ත (40) මහතා කියා සිටියේ මෙවැන්නකි.
"පුතා ඉපදුණේ 2012 ජුනි 7දායි. ඉතින් අවුරුදු එකහමාර වෙනකල් අපි පුංචි පුංචි ආහාර පුතාට දුන්නා. ඒත් දැන් එයා සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ පිටිකිරිවලින් විතරයි මහත්තයෝ. ඇත්තටම එයාගේ වියදම් සේරම දරන්න සිද්ධ වෙලා තියෙන්නේ මම කුලී වැඩක් කරලා හොයන කීයක් හරි මුදලකින්. ඒ වගේම මම රෝගියෙක්. මට තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් පාසල් යනවා. ඒ දෙන්නාගේ ඉගෙනීමේ වැඩයි ගෙදර වියදම් සේරමයි එක්ක අපි ගෙවන්නේ හරි දුෂ්කර ජීවිතයක් මහත්තයෝ. එහෙමයි කියලා මම කවදාවත් මගේ රත්තරන් පුතාව බඩගින්නේ තියලා නෑ. එයා මෙහෙම ඉද්දී අපිට හරියට කෑමක් කන්නවත් හිතෙන්නේ නෑ. මම රැකියාව විදියට කරන්නේ කුලී වැඩ. දැන් කන්න තුනක් විතර අපිට වැඩක් නැති නිසා කුලී වැඩකුත් නෑ හරියට. ඒත් ණයක් වෙලා හරි කිරිපිටි පැකට් එක පුතාට මම ගේනවා. අපි 4 දෙනෙක් එකතු වෙලා තමා මෙයාට යෝගට් එකක් පවා කවන්නේ. ඒත් තදින් අල්ලා ගත්තොත් විතරයි. සතියකට පුතාට කිරිපිටි පැකට්වලට රුපියල් 2600ක් විතර යනවා. මැලිබන් කිරි එක තමා මෙයා බොන්නේ. ඉතින් මම මේ පින් කැමැති මහත්වරුන්ගෙන් ඉල්ලන්නේ මගේ පුතාගේ ජීවිතය ආරක්ෂා කර ගන්න අපිට පිහිටක්, පිළිසරණක් වෙන්න කියලා"

වැඩිමහල් සොහොයුරියකගේ හා වැඩිමහල් සොහොයුරකුගේ සෙවණේ ජීවත් වන ජනිත් අප යන විටත් සිටියේ චිත්‍ර පොතක කුරුටු ගාමින්ය. බොහෝ අඩුපාඩුකම් මැද්දේ හෝ තම දරුවන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන්නට ජනිත්ගේ පියාද නොගන්නා උත්සාහයක් නැත. එම දරුවන්ගේ අඩුපාඩු විමසා හැකි පමණින් හෝ ඒවා සම්පූර්ණ කර දෙන්නට අපිද කටයුතු කළෙමු. කෙසේ හෝ ජනිත් පුතුගේ කිරිපිටිවලට යන වියදම තනියෙන්ම දරා ගන්නට තරම් හැකියාවක් හෝ ශක්තියක් ඔහුගේ මවටත් පියාටත් නොමැත. ජනිත් පෙරපාසල් ගියද ඔහුට එහි පැලඳ යන්නට පාවහන් යුගලක් නොමැත. බෑගයක්, වතුර බෝතලයක් නැත. එමෙන්ම පෙරපාසල් නිල ඇඳුම් ඇත්තේද එකක් පමණය. ඒ නිසා ඒ පුංචි පුතු වෙනුවෙන් ඔබටත් යමක් කිරීමට හැකි නම් එය ඇත්තෙන්ම මහඟු පුණ්‍යකර්මයක් වනු ඇත. ඒ සඳහා
071-2353734 අංකය ඔස්සේ ඔහුගේ මවුපියන් සම්බන්ධ කර ගනිමින් ඔබේ සහයෝගය දැක්විය හැකිය.

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon