මහින්ද පිලට එරෙහි සියලු දෙනා එජාපයේ කුලී හේවායන්

  👤  3325 readers have read this article !
By mawbima 2018-01-14

බැඳුම්කර වාර්තාව එළියට ආවා. කවුරුත් නොහිතපු විදියට මෛත්‍රි කඩුව අතට ගත්තා නේද?
කොමිසම දැම්මා. කෙටි කාලයකින් වාර්තාව ආවා. ඒ සියල්ල ගැන ජනාධිපතිතුමාට ගෞරවය දෙන්න මම පැකිළෙන්නෙ නැහැ. නමුත්, කඩුව අතට ගත්ත බවක් නම් පේන්නෙ නැහැ. එක්කො එතුමාගේ අතේ කඩුව නැහැ. කොපුව විතරයි තියෙන්නෙ.

නමුත් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සම්බන්ධයෙන් වාර්තාව මඟින් බරපතළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා?
ඔක්කොම කුණු කන්දල් බේරුවල් බොක්කටය කියල පැරණි කියමනක් අහල තියනව නේද?
රවි නීච කළාම සියලු දෙනාගෙම ග්‍රහ දෝෂ දුරුවේවි කියලා කවුරුන් හෝ උපදේශයක් දී ඇති බවයි මට නම් පේන්නෙ. ඔය හැම තැනම සුමනදාසල ඉන්නවනේ.
ඇයි ඔය 'කඩුව' ගැන සැකයෙන් බලන්නෙ..?

දැනට සමාජයේ දිගහැරිල තියන කොමිසමේ වාර්තාවට අනුව නම්, බැඳුම්කර ඔරුව යාත්‍රා කරල තියෙන්නෙ අතු ගංගාවක, දෙකක විතරයි.
මවු ගංගාව පැත්ත. පළාතක ගිහිල්ලා නැහැ. මම අවංකවම විශ්වාස කරන්නෙ මේ අපි දකිමින් ඉන්නෙ "බය නැති අගමැති" මෙගා ටෙලි නාට්‍යයේ ඊළඟ කොටස කියන එකයි.
සාධාරණ තර්කයක් හෝ හේතූන් නැතිව එහෙම කියන එක සුදුසුද?

හේතු එකක් නෙමෙයි ගණනාවක් තියෙනව. දැන් බලන්න, ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවතට ගැනීම, ලෝක ඉතිහාසයේ පළමු වතාවට විනිමය වංචා නඩුවක පළමු චූදිතයන් විභාග වන අතරතුරම මුදල් ඇමැතිවරයා ලෙස පත් කිරීම, 1948න් පසුව පළමු වතාවට විදේශිකයකු මහ බැංකු අධිපති කිරීම සහ ඔහු අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දිවුරුම් නොදීම, ඔහු පසුගිය ජනාධිපතිවරණයේ මූල්‍ය මෙහෙයුම භාරව සිටීම, ඩිව් ගුණසේකර ඛ්ධනඥ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට ඉඩ නොදී "අග්‍රාමාත්‍යවරයා බේරා ගැනීමේ අරමුණ" පෙරදැරිව පාර්ලිමේන්තුව වසරකට පෙර විසුරුවා හැරීම, එජාප නීතිඥ කමිටුවකින් කිසිදු වංචාවක් බැඳුම්කර ගනුදෙනුවේදී සිදු නොවූ බවට සහතික නිකුත් කිරීම, හදිසියේම කෝප් කමිටුවෙන් වේලුකුමාර් මන්ත්‍රිවරයා ඉවත්කොට සේනසිංහ ඇමැතිවරයා පත් කිරීම, සේනසිංහ ඇමැතිවරයා විසින් ඛ්ධනඥ කමිටුවට එරෙහි වාරණ නියෝගයක් ඉල්ලා අස්කර ගැනීම සහ වංචාවක් සිදුව නොමැති බව කියමින් පොතක් මුද්‍රණය කිරීම, පොදු දේපොළ පනත යටතේ කොඩි කණු අටකටත් රාත්‍රි උසාවි විවෘත කොට නඩු අසා හිරේ දාන රටක මේ බරපතළම අපරාධය සම්බන්ධයෙන් කෝමළ මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නවය (9) නපුරුය කියලා පිළිගැනීමක් තිබුණත් මේ හේතු නවය පමණක් අරගෙන බලන්න ඔබට සාධාරණව සැක නැද්ද කියලා.

දැන් අගමැතිතුමා නියෝගයක් දීලයි තියෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවට කඩිනම් පරීක්ෂණයක් තියන්න කියල...?
ඒ විතරක්ද? පාර්ලිමේන්තු විවාදයකුත් දීල. විශේෂ ප්‍රකාශයකුත් කරල. තව කොච්චර දේවල් පෝලිමේ ඒවිද...? අපි ජනාධිපතිතුමාට ගෞරවයෙන් කියන්නෙ, කඩුව = මඩුවලිගය = ඉලාස්ටික් පටිය කියල සමීකරණයක් නම් හැදෙන්න දෙන්න එපා.
අද අපි මුණගැහෙන්නෙ ජනවාරි 10 වැනිදා. හරියටම තව දින 30 කින් මැතිවරණයක්. මොකද වෙන්නෙ...?
මේ ගැන කියනවා නම් ප්‍රධාන කරුණු තුනක් තියෙනවා.

එක, මේ මැතිවරණය, ආණ්ඩුව අපිට බන්දේසියක කියල පිළිගන්වන එකක් නොවෙයි. 2015 මැයි මාසෙ තිබිය යුතු වූ මැතිවරණය නොතියා අවුරුදු 2 1/2 පුරා ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කරමින් සිටි ආණ්ඩුවක අත අඹරවලයි අපි මේ මැතිවරණය ගත්තෙ. මැතිවරණ කොමිසමට සහ නිරීක්ෂණ සංවිධානවලටත් එහි යම් ගෞරවය බෙදී යා යුතුයි.

දෙක, මේ මැතිවරණය ගමේ ප්‍රශ්න විසඳන ගමේ නියෝජිතයෝ තෝරන සරල වටිනාකමක් තියන එකක් නොවෙයි. ලංකාවේ පළමු පළාත් පාලන මැතිවරණය තිබුණේ 1865දී. එතෙක් මෙතෙක් වසර 153 ඇතුළෙ පවත්වනු ලබන දේශපාලන වශයෙන් පමණක් නෙවෙයි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්ම මැතිවරණය මේක. මහා මැතිවරණයකට තියෙන සියලු වැදගත්කම් පෙබරවාරි 10 මැතිවරණයට තියෙනවා. මේක පැහැදිලිවම ජනමත විචාරණයක්.

තුන, මේ ආණ්ඩුවට අදට වසර තුනයි. මේ ගතවෙච්චි වසර තුන ඇතුළෙ රටේ ආර්ථිකයට, රටේ ආරක්ෂාවට, රටේ ස්වෛරීභාවයට, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ රටේ ස්ථාවරභාවයට කරනු ලැබූ විනාශය තක්සේරු කළ හැකිද? රාජ්‍ය සම්පත් විදේශ රාජ්‍යයන්ට විකුණා කෑම ඔබ අනුමත කරනවද? ජීවන වියදම උසුලාගත හැකිද? හොරකම, බැරිකම සහ නැතිකම මේ තරම් ඉහවහා ගිය අන් කාලයක් ඔබ ජීවිත කාලය තුළ තිබුණද? මෙන්න මේ ප්‍රශ්නාවලියට ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ලබන උත්තරය පෙබරවාරි 10දා කතිරයක් බවට පත්කරන්න. මේ මැතිවරණයේදී ආණ්ඩුව වෙනස් කිරීමේ ප්‍රධානතම පියවර ඔබට තියන්න පුළුවන්. පසුගිය මැතිවරණවලදී ඔබ කාට ඡන්දය පාවිච්චි කරලා තිබුණත් කමක් නැහැ. පෙබරවාරි 10 වැනිදා රාජ්‍යයේ ස්ථාවරභාවය, ආරක්ෂාව, ආර්ථිකය වෙනුවෙන් සහ චෞරයන්ට එරෙහිව පාවිච්චි කරන්න.
ඔබ නියෝජනය කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේක ශ්‍රී ලංකා - යූ.ඇන්.පී. ආණ්ඩුව අපි කොහොමද මේ වෙනස තේරුම් ගන්නෙ?
ඒක මහා ප්‍රහේලිකාවක් නෙමෙයි. මම පැහැදිලිව නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය. ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ යූ.ඇන්.පි.ය සහ ඔවුන්ගේ න්‍යාය පත්‍රය පරාජය කිරීම ආත්මීය වගකීමක් ලෙසයි පිළිගන්නේ.

ඒ වගේම මතක තියාගන්න මේ වසර 3ක් සපිරෙන ආණ්ඩුව පිහිටුවා ගත්තේ ඒකාබද්ධ විපක්ෂයේ සහෝදර පක්ෂ හැර අනෙක් සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලායි.
නමුත් ඊව්ඒ සහ බ්ඍර්ථී නියෝජනය කරන්නෙත් විපක්ෂය නෙ...?

ඔව්. නිල විපක්ෂය. නමුත් අමතක කරන්න එපා ජනවාරි 9දා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරලා, ශ්‍රී ලනිප අගමැති හා කැබිනට් මණ්ඩලය එළවල දමල පිහිටුවා ගත්ත මේ ආණ්ඩුව ගොඩනැඟුවේ ඊව්ඒ, බ්ඍර්ථී, ඉඹ්ර්ඛ්, බ්ඩ්උ මේ ඔක්කොම එකතු වෙලා බව. එදා මුළු පාර්ලිමේන්තුවේ 225න් 46යි වික්‍රමසිංහ මහත්තයට තිබුණෙ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගිරිය ලේ රහවෙනකම් කෑ ගහන ඔය කවුද කිව්වේ ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීය කියල. ඒකට ප්‍රතිඋපකාරයක් විදියට ඔවුන්ට නිල විපක්ෂයේ තනතුරු ලබාදෙන්න ඇති.

ඔබලා හැරෙන්න අනෙක් සියලු දෙනා ආණ්ඩුවේ බවද ඔබ ගොඩනඟන තර්කය?
එය ඉතාම පැහැදිලියි. ආණ්ඩුවේ පක්ෂ තාවකාලිකව බෙදිලා තියෙනවා. ආණ්ඩු විරෝධීන් පොහොට්ටුව වටා එකතුවෙලා ඉන්නවා. ඔබට ආණ්ඩුව ගෙදර යවන්න වුවමනා නම් මහින්ද පිල ඉන්නවා.

අතරමැද කිසිම අම්බලමක් නැහැ. අනෙක් සියලුම දෙනා එජාපයේ කුලී හේවායන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයකුව සිටිමින් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම නීති විරෝධී, විනය විරෝධී ක්‍රියාවක් ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විතරක් නෙමෙයි ඕනෑම පක්ෂයකට අදාළව එය විනය ප්‍රශ්නයක්. එය ඕනෑම පක්ෂයක ව්‍යවස්ථාවේ මූලිකව සඳහන් වෙනවා.

නමුත් බය නැතිව ඔබ එය උල්ලංඝනය කරනවා...?
අද මේ මොහොත දක්වාම නම් නැහැ. අපේ පක්ෂයේ අම්මා සිරිමාවෝ. මම සාමාජිකත්වය ගත්තෙ, මට සංවිධායක ධුරයක් ලැබුණෙ ඒ ශේ‍ර්ෂ්ඨ මාතාවගේ අතින්. මම පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික, උප සභාපති. කිසි දවසක පක්ෂයට ද්‍රෝහි වෙලා නැහැ. නමුත් මගේ පක්ෂය අම්මාගේ ප්‍රජා අයිතිය පවා අහිමි කරනු ලැබූ යූ.ඇන්.පීයේ න්‍යාය පත්‍රය නම් අතට ගන්නෙ 'අත' පාවිච්චි කරන්නේ 'අලියා'ගේ හෙලුව වහන්න නම්, පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති අතර සිරකරුවකු වීමට මගේ හෘද සාක්ෂිය සූදානම් නෑ.
ඔබ වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නෙ පොදුජන පෙරමුණට එකතුවීම සාධාරණයි කියන එක නේද?.

මම මගේ ජීවිතයේ කවමදාවත් වහෙන් ඔරෝ කියපු, ලියපු කෙනෙක් නෙමෙයි. ඔහෙන් වරෝම තමයි කොයිතරම් අවාසි වුණත්.
මගේ ප්‍රශ්නය ඔබ ශ්‍රී ලනිපය ගැන බොහෝ හැඟීම්බර දේ කියමින් පොදුජන පෙරමුණ නියෝජනය කිරීම ගැනයි...,?
මම ඒකාබද්ධ විපක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නෙ ඒකාබද්ධයෙ ප්‍රධානම සහෝදර පක්ෂය. එය නියෝජනය කරන්නේ බණ්ඩාරනායක අගමැතිතුමා, සිරිමාවෝ මැතිණිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලනිපයට උරුම කරදුන් ප්‍රතිපත්තීන්. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආරම්භක මොහොතේ සිට නියෝජනය කළ අනෙක් සහෝදර පක්ෂයි. අප සියලු දෙනා ඉතිහාසය විසින් අපිට පවරපු ශ්‍රී ලාංකේය වගකීම ඒ කියන්නෙ යූ.ඇන්.පී.යේ දේශපාලනය පරාජයට පත් කිරීම සඳහා හදවතින්ම, රුධිරයෙන්ම කැපවෙලා ඉන්නවා.

ඔබ කියන්න උත්සාහ ගන්නේ ඔබේ මහගෙදර යූ.ඇන්.පි.ය බදු අරගෙන නිසා වෙන ගෙදරකට යන්න වුණා කියලද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ මේ රටේ දේශප්‍රේමීන්ගේ මහගෙදර. ප්‍රගතිශීලීන්ගේ මහ ගෙදර. වාම වාදීන්ගේ නවාතැන. නමුත් ඔබ හරියටම හරි. අද එය එ.ජා.ප.ය බදු අරගෙන. බණ්ඩාරනායක අගමැතිතුමාගේ රුධිරයෙන් තෙත් වෙච්ච සාටකය බැංකුකොල්ලකරුවන් විසින් මුහුණු ආවරණ ලෙස යොදා ගැනීමට ඉඩ දිය නොහැකියි. එය ලැජ්ජාවට කරුණක්. දුකට කරුණක්.

නමුත් මේ බදු ගිවිසුම වසර දෙකකට නේද?
අපිට කිව්වෙ නම් එහෙම තමයි. ඔය ගිවිසුම අස්සන් කළේ අගෝස්තු 21 වැනිදා 2015, වසර දෙකක් කියලා. ඒ අනුව 2017 අගෝස්තු 21 එය අහවර වුණා. ඊට පස්සෙ කිව්ව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කළා කියල. අද ජනවාරි 10. දැන් මේක කල් ඉකුත් වූ භාණ්ඩයක්.
ඇයි ඔබ ඊට එරෙහිව අධිකරණයට නොයන්නේ?
පෙබරවාරි 10 ජනතා අධිකරණයට යන්නේ ඊට එරෙහිවයි.

ඔබ මීට පෙරත් මාධ්‍යයට කිව්වා. අපි වාර්තා කළා මෙතැනදී ව්‍යවස්ථාමය අර්බුදයක් පැන නඟිනවා කියලා..?
නිසැකවම මෙය නීති විරෝධියි. ව්‍යවස්ථා විරෝධීයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලන්න. 19 වැනි සංශෝධනයට අනුව, 46, 1 'අ' යටතේ කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 30කටත් 1 'ආ' යටතේ කැබිනට් නොවන අය 40කටත් සීමා කළා. නමුත් ව්‍යති රේඛයකින් 46 '3' යටතේ, ප්‍රධාන පක්ෂ එකතුව හදන ජාතික ආණ්ඩුවක් නම් කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව 45 දක්වාත්, රාජ්‍ය - නියෝජ්‍ය සංඛ්‍යාව 55 දක්වාත්, වැඩි කරගන්න. ඒ කියන්නෙ 70ව 100 දක්වා වැඩිවුණා. නමුත් ජාතික ආණ්ඩුවේ ආයු කාලය නිමා වෙලා නම් එය දීර්ඝ නොකළා නම් මේ ඇමැති මණ්ඩලය නීති විරෝධී - ව්‍යවස්ථා විරෝධී නිකම්ම නිකම් වවුල්පොළක් බවට පත්වෙලා. ඇමැතීන් 30 දෙනකු මාසිකව කෝටි තිහක් පමණ වියදම් කොට නීති විරෝධීව නඩත්තු කිරීමක්. මෙය ශේ‍ර්ෂ්ඨාධිකරණයටත්, ජනතාධිකරණයට යොමුවිය යුතුමයි.
ශ්‍රී ලනිප ඇමැතිවරු පිරිසක් දෙසැම්බර් 31 ආණ්ඩුවෙන් එළියට බහින බව කිව්වා නේද?

ඔවුන් නල්ලතන්නියේ සිට එන අතර දිවාගුහාවේ සිරව සිටින බව ආරංචියි. බලමු ප්‍රථමාධාර කණ්ඩායමක් යවලා.
දැන් ඔබේ පක්ෂයෙ ඇතැම් ඇමැතිවරු කියනවා නේද මේ මැතිවරණයෙන් පස්සෙ ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා...?
මම ඔවුනට කියන්නෙ කැමැති නම් අසූචි කන්න. හැබැයි හැන්දක් පාවිච්චි කරන්න කියලයි. පෙබරවාරි 10 වැනිදායින් පස්සේ ප්‍රදේශීය සභා ඇතුළේ යූ.ඇන්.පී. පාලනය තහවුරු කිරීම සඳහා හවුල් වෙන්න හදන අය හඳුනාගන්න ලේසියි. ඔවුන් නිරුවතින් ඉන්නෙ.
නමුත් ඔවුන් කියන්නේ අලුත් යට ඇඳුම් ඇඳල ඉන්නව කියලයි. සම්පූර්ණ ඇත්ත. කොළපාට යට ඇඳුම්.
ඔබට අවංකවම හිතෙන්නෙ නැද්ද? සමස්ත දේශපාලනයම නිරුවතින්ය කියල?

මම දේශපාලනයට පිවිසෙන්න ඉස්සර අහල තිබුණේ මේක ලෝකයේ දෙවැනි පැරණිම වෘත්තිය කියලයි. ඒත් දැන් තේරෙනවා. එය පළමුවැන්නට අතිශයින්ම සමානයි කියලා.
මහින්ද රාජපක්ෂ මහතා එක්ක ඉන්න ඔබ කණ්ඩායමටත් විශාල චෝදනා තියෙනවා. චන්ද්‍රිකා මැතිනිය කියන්නෙ මහින්ද එක්ක ඉන්නෙ බේබද්දන් සහ හොරුන් කියලයි?
වික්ටර් අයිවන්ගේ "චෞර රැජන" පොත කියවා ඇති නිසාත්. බේබදුකම පිළිබඳ එතුමියගේ දැනුමට අභියෝග කළ නොහැකි නිසාත් මම ඒ ගැන මොකුත් කියන්නෙ නැහැ.
මෛත්‍රි පාර්ශ්වයෙන් කියන්නෙත් ඔබ කණ්ඩායමේ ඉන්නෙ ශ්‍රී ලනිපය විනාශ කරපු දූෂිතයන් හා මදාවියන් බව නේද?
ඒ ඉස්සර. දැනුත් එහෙම කියනවද...? ජනාධිපතිවරණ වේදිකාවේ වැඩියෙන්ම කතා කරපු මාතෘකාවනේ අකුරුස්සේ 'විරාත් කෝලි' දැන් බලන්නකො ලක්ෂ්මන් මහත්තයාගෙයි අමරවීර මහත්තයාගෙයි, එයාගෙයි පින්තූර තුන දමල පෝස්ටර් ගහල හැම තැනම. දැන් අකුරැස්සෙ මිනිසුන්ට තියෙන ප්‍රශ්නය විරාත් කෝලි ශතක වාර්තා කරන්නෙ මේ අය එක්ක හවුලෙද කියලයි? කරුණාකර 'බේරුවල්' බොක්ක බවට පත්වෙන්න එපා. අපි වැදගත් දෙයක් ගැන කතා කරමු.

පොහොට්ටුවෙන් තරග කිරීමේ තීරණයට ඒකාබද්ධය ඇතුළෙ ලොකු බෙදීමක් තිබුණා නේද?
ශුද්ධ වූ බොරුවක්. ගිලන්ව සිටින ආණ්ඩුවේ මාධ්‍යයි එහෙම වාර්තා කළේ.
නමුත් ඒකාබද්ධය ඇතුළේ ලොකු දෙදරීමක් තියෙන බව පැහැදිලියි...?
ඔබේ නිගමනය මුළුමනින්ම සාවද්‍යයි. කොහොමද ඔබ එහෙම තීරණය කරන්නෙ..
ඔබේ ප්‍රබල සාමාජිකයෝ දෙන්නෙක් ආණ්ඩුවට එකතු වුණා...?
කරුණාකරල මාව පොලොඹවන්න එපා. කලක් අපි එක්ක හිටපු අය ගැන කතා කරන්න. නමුත් ඉතාම පැහැදිලියි එකී තීරණ නිසැකවම පෞද්ගලික හෝ ආර්ථික හේතූන් නොවන බව. දේශපාලන හේතූන් නොවන බව. නමුත් මට තියෙන ප්‍රශ්නය ඇයි ඔබට පේනනෙ නැත්තෙ? කතා කරන්නෙ නැත්තෙ. ආණ්ඩුවේ වරප්‍රසාදවලට පයින් ගහලා... ඇමැතිකම් වීසි කරලා අපිට එකතුවෙන අය ගැන...? දැන් බලන්න පියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, දුලිප් විජේසේකර, නිමල් ලාංසා අපි එක්ක ඉන්නේ. දෙන්නෙක් ගියපු එක දෙදරීමක් නම් හතර දෙනෙකු ආපු එක භූමි කම්පාවක් වෙන්න එපායැ.
ආණ්ඩුවේ පක්ෂ දෙකම කියන්නෙ ආණ්ඩුව ස්ථාවරයි. ගම හදන්න අපිට දෙන්න කියලයි?

එතකොට පසුගිය අවුරුදු තුනේ මොකද කළේ? විධායක ජනාධිපති, 2/3 බලය සහිත පාර්ලිමේන්තුව, සියලුම පළාත් සභාවල බලය සහ විසිරුවා හරින ලද සියලු පළාත් පාලන ආයතනවල කොමසාරිස් බලය. මොකක්ද ගම හදන්න තිබුණු බාධාව. බැරිකම සහ නොහැකියාව හැර...?

යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීම නම් මේ ආණ්ඩුව අත්‍යවශ්‍යයි කියා රජය කියනවා?
එහෙම නම් මොකටද බෙදිල තරග කරන්නෙ? යහපාලන ආණ්ඩුව නම් මොඩ්ල් එක, ඒකට පොදු ලකුණකින්, හංසයාගෙන් හරි තරග කරන්න තිබුණනේ...? ජනවාරි යහපාලනය වෙනුවෙන් එකට පෙනී සිටි සියලු දෙනා බෙදිල. විසිරිලා... වෙන්වෙලා දැන් ඒකත් යහපාලනය කියලා අපිට පිළිගන්නලු. මේක නම් ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරි මොඩල මේ ක්‍රමය නම් රටට අත්‍යවශ්‍ය ඇයි තමුන්නාන්සේලා වෙන් වෙන්නේ. මෙයාලට ඕන මේ ආණ්ඩුව වගේම තීරණය ගන්න බැරි, සමඟියක් නැති වාචාලකම විතරක් තියෙන ප්‍රාදේශීය සභා ටිකක් හදා ගන්නයි.

අගමැතිතුමා අවධාරණය කරනවා මේ මැතිවරණයෙන් ආණ්ඩුව පෙරළන්න බැහැ කියලා... ?
කවුරු හරි කරුණාකරල එතුමට පෙන්නලා දෙන්න එතුමාගේ කකුල් යටින් පොළොව නාය යන බව. පෙබරවාරි 10 වැනිදා ජනමත විචාරණයෙන් ඔබ ඔබේ හෘද සාක්ෂියේ තීරණය සටහන් කරන්න. සූර්යයා අප්‍රේල් මාසෙ 'මීන' රාශියෙන් 'මේෂ' රාශියට එනකොට අංජනලා, දාසලා, එම්.ඩී. වගේ කාටුන් ශිල්පීන් ආණ්ඩ දමපු කෝට් බෑයක් සහිත රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රුව සටහන් කරාවි නිසැකවම.

පුංචි ඡන්දය තියෙන්නේ ගම හදාගන්න නියෝජිතයෝ පත්කර ගන්න. නමුත් ඔබලා කතා කරන්නේ ජාතික ප්‍රශ්න ගැන?
අද සිට පෙබරවාරි 10 දක්වා ඇති දින 30 ඔබට ඔබේ ජීවිත කාලය තුළදී නැවත නොලැබෙන දින 30ක්. අපේ තීරණය රටේ අනාගතය පිළිබඳව විනා ප්‍රාදේශීය සභාවේ කුණු හෝ වීථි පහන් පිළිබඳ තීරණයක් නොවෙයි. එක මොහොතක් කල්පනා කරන්න අපේ රටේ අනාගත ඉරණම පිළිබඳව. රටේ ආර්ථික වර්ධන වේගය, 4%ට අඩුවෙලා. උද්ධමනය 9% දක්වා වැඩිවෙලා. රජයේ වියදම්, 49%කින් ඉහළ ගිහිල්ල. ජනතාවගේ බදු බර, 94%කින් ඉහළ ගිහිල්ල. රුපියලේ අගය, 20%කින් බාල්දු වෙලා. රාජ්‍ය ණය බිලියන 10,000 දක්වා වැඩිවෙලා. සියලු රාජ්‍ය සම්පත් නොරටුන්ට විකුණලා. බෙදුම්වාදීන් හිස ඔසවලා, පාතාලය නැඟිටලා, විල්පත්තුව වනසලා, දළ ඇතුන් ඝාතනය කරලා, ක්‍රිකට්වලින් පැරදිලා, මැතිවරණ සිතියම අකුළලා. "පෙබරවාරි 11 වැනිදා අපි සිටිය යුත්තේ කොතැනද?" කරුණාකර ඔබේ හෘද සාක්ෂිය අමතන්න.
අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon