කවුද හොරා?

  👤  3683 readers have read this article !
By mawbima 2018-01-14

කවුද රජා" යනුවෙන් 60 දශකයේදී ජනප්‍රිය චිත්‍රපටයක් නිර්මාණය විය.
"මමයි රජා" යනුවෙන් සිනමා පටයක් 80 දශකයේ අග භාගයේදී නිර්මාණය වූ අතර එයද ඉතා ජනප්‍රියතාවට පත්විය.
"කවුද රජා" , "මමයි රජා" යනුවෙන් ජනප්‍රිය සිනමා පට බිහිවී තිබුණද "කවුද හොරා" යනුවෙන් මේ දක්වා සිනමා පටයක් බිහිවී නොමැත.
එසේ සිනමා පටයක් බිහි නොවුණද "කවුද හොරා" මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සටන් පාඨයක් බවට පත්ව තිබේ.
ඊට හොඳම උදාහරණය පසුගිය 10දා පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටිබැට හුවමාරුවයි. ලේ හැලීමක් දක්වා මෙම ගුටිබැට හුවමාරුව දුරදිග ගියේ "කවුද හොරා" සොයාගැනීමට උත්සාහ කළ නිසාය.

"කවුර රජා" චිත්‍රපටයේ රජා බවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම නළුවකු වූ ගාමිණී ෆොන්සේකාය.
ගාමිණී රජා වන විට එම වීර චිත්‍රපටයේ කතානායිකාව වන්නේ මාලනී ෆොන්සේකායි.
චරිතාංග නළුවකු මෙන්ම ජනප්‍රිය නළුවකු වූ ගාමිණී ෆොන්සේකා පසු කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයටද පත්විය.

එම චිත්‍රපටයේ කතානායිකාව වූ මාලනී ෆොන්සේකා පසු කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් බවට පත්වූවාය.
"මමයි රජා" සිනමා පටයේ වීරයාගේ චරිතය රඟ පාන්නේ මේ රටේ ජනප්‍රියතම සිනමා නළුවා බවට පත්වූ විජය කුමාරතුංගයි. පසු කාලයේ දේශපාලනයට පිවිසි විජය ක්‍රියාකාරී දේශපාලන නායකයකු වී එක්සත් සමාජවාදී පෙරමුණේ නායකයා බවටද පත්විය.
1988 පෙබරවාරි 16 විජය වෙඩි තබා ඝාතනය කිරීමට ක්‍රියා කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබුණේ විජයගේ දේශපාලන ගමන නතර කිරීමයි.
"මමයි රජා" චිත්‍රපටයේ විජයගේ පෙම්වතිය වූයේ ගීතා කුමාරසිංහයි. ඇයද පසු කාලයේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

"කවුද රජා" සහ "මමයි රජා" චිත්‍රපටවල ප්‍රධාන නළු නිළියන් එසේ දේශපාලනයට නෑකම් කියන විට "කවුද හොරා" චිත්‍රපටයේ නළු නිළියන් කවුද? කියා මේ වන විට සමාජයේ ප්‍රබල අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන්ම "කවුද හොරා" සිනමා පටයේ සැබෑ නළු නිළියන් කවුද? කියා දැනගැනීමට දේශපාලන ක්ෂේත්‍රය තුළද පවතින්නේ ප්‍රබල උනන්දුවකි.

"කවුද හොරා" සිනමා පටයක් නම් එහි තිර පිටපත හොරා අනාවරණය කර ගැනීමට විශාල ආධාරකයකි. එහි තිරපිටපත තවම ප්‍රසිද්ධ වී නොමැත. මෙම තිරපිටපත ප්‍රසිද්ධ කිරීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පසුගිය 10දා ආරම්භ කළ විරෝධතාව අවසන් වූයේ දැඩි ගුටිබැට හුවමාරුවකිනි.
"කවුද හොරා" සිනමා පටයක් නම් එහි තිරපිටපත වන්නේ බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවයි. මෙම තිරපිටපත සඳහා මෙතරම් උනන්දුවක් පවතින්නේ එම තිරපිටපත මඟින් "කවුද හොරා" කියා හෝ "කවුද හොරා" සිනමා පටයේ සැබෑ නළු නිළියන් හඳුනාගැනීමට හැකිවෙතැයි කියා සමාජය තුළ විශ්වාසයක් තිබෙන නිසාය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව මේ වන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට භාරදී තිබේ. එම වාර්තාව ගෙන්වා ගෙන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විරෝධතා දක්වමින් ඉල්ලා සිටි නිසා ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟම ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

"කවුද හොරා, බැංකු හොරා, රනිල් හොරා" කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විරෝධතා පුවරු ඔසවා ගනිමින් කෑකෝ ගසමින් පාර්ලිමේන්තුවේ සභා ගර්භය ආක්‍රමණය කරන්නට වූහ.
ඒකාබද්ධ විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් විරෝධය නොතකා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මැති සබයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 2008-2014 වකවානුවේ රුපියල් බිලියන 5147ක බැඳුම්කරවලින් රුපියල් බිලියන 4702ක බැඳුම්කර ගනුදෙනු විනිවිද නොමැති බවයි. එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පිළිතුරු ලබාදිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"මහ දවල්, මහ බැංකුවේ, මහ මුදල් මංකොල්ලය සිදු කරමින් රුපියල් ටි්‍රලියන දෙකකට අධික මුදලක් රටට අහිමි කිරීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
"කවුද හොරා, බැංකු හොරා, රනිල් හොරා" යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කෑ ගැසූ විට ඊට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විරෝධය දැක්වූයේ "මහින්ද හොරා" යැයි කියමින් කෑගසමිනි.
මේ දෙසට විශේෂ ප්‍රකාශය සිදුකරමින් සිටි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේද අවධානය යොමු වූ අතර තම විශේෂ ප්‍රකාශය අවසානයේදී ඔහුද එම විරෝධතාවට එක්වීමද විශේෂත්වයකි.
"ඒ ගොල්ලන් කෑ ගහන කොට ඔයගොල්ලත් කෑගහන්න" යනුවෙන් තම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට උපදෙස් ලබාදුන් අග්‍රාමාත්‍යවරයා "කවුද හොරා", "කවුද හොරා" යනුවෙන් කෑගසුවේ අත් දෙකද තරමක් ඔසවමිනි.

"කවුද හොරා" යනුවෙන් අගමැතිවරයා විමසන විට "මහින්ද හොරා" යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කෑගැසූහ.
මේ අතර එදිනම සවස අනුරාධපුරයේ පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ජන රැලියේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාද "කවුද හොරා" කතාව ගැන සඳහන් කළේය. "හොරා කියන්නේ කවුදැයි ජනතාව දන්නවා. අන්න හොරෙක්, අන්න හොරෙක්, හොරා දුවනවා කියලා පක්පොකට් කාරයොත්් දුවනවා. මේක තමයි අද මේ රටේ දේශපාලනයට වෙලා තියෙන්නේ.

අද උදේ පාර්ලිමේන්තුව රැස්වුණා. දෙපැත්තේ ඉන්න අය දෙගොල්ලන්ටම හොරු කියන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඔක්කොම අද උදේ ඉඳලා අනුරාධපුරයේ.

කොළඹ කොටුවේ පික්පොකට් ගහන මිනිස්සු අදට වැඩිය හිටියා.
අන්න හොරෙක්, අන්න හොරෙක්, හොරා දුවනවා කියලා පික්පොකට් කාරයොත් දුවනවා. මේක තමයි අද මේ රටේ දේශපාලනයේ සිදුවෙලා තියෙන්නේ" යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරය ප්‍රකාශ කළේය.

"මේ ආණ්ඩුව බලයට පත්වූ ගමන්ම මහ දවාලේ මහ බැංකුව කොල්ල කාලා කිසිම ලැජ්ජාවක් නැතිව අපට ඇඟිල්ල දිගු කරනවා. අපේ කාලේදී මහ බැංකුවේ මෙවැනි මුදල් කොල්ලයක් සිදුවෙලා නැහැ. ඕන නම් පරීක්ෂණයක් කරන්න කියලා අපි කියනවා. ශ්‍රී ලංකා මහ බැංකුව කොල්ල කාලා රටේ මුළු ආර්ථිකයම මේ ආණ්ඩුව වට්ටලා ඉවරයි. මහ බැංකුව හොරාකාපු හොරා කවුද? කියලා රටම දන්නවා" යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සැබෑවටම "කවුද හොරා" කියා නීතියෙන්ම ඔප්පු වනතුරු අපි බලාගෙන සිටිමු.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon