අතරතුර “සතුරු” කාලය

  👤  3477 readers have read this article !
By mawbima 2018-01-14

"මෛත්‍රිගෙ ශ්‍රී ලනිපයයි රනිල්ගෙ එජාපයයි "යහපාලන ආණ්ඩුවක්" පිහිටුවලා තිබුණට පහුගිය සතියෙ නම් පෙනුණේ ආණ්ඩුවයි විරුද්ධ පක්ෂයයි එකාට එකා ආණ්ඩු දෙකක් වගේ ගහ මරා ගන්නවා වගේ" ය කියා රටේ තොටේ කතා වෙන්නේ යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන පළාත් පාලන මැතිවරණ උණුසුමත් එක්කම අවිනිශ්චිත තැනකට වැටිලා දෝයි සිතෙන නිසාය.
"ඇත්තටම මෛත්‍රි කඩුව අතට අරන් මේ වනන හැටියට යූ.එන්.පී.යක් ඉතුරු වෙයිද..?" කියා මුමුනන්නේ "කැපුවත් අපි යූ.එන්.පී. කාරයෝය." එයිනුත් බහුතර යූ.එන්.පී.කාරයෝ කියන්නේ,

"මෛත්‍රි ජනාධිපති කරන්න ඡන්දෙ දීලා, දුක් විඳලා, අන්තිමට එළිවෙනකම් ප්‍රතිඵල ඇහුවෙත් අපි. මෛත්‍රිට දිනුවාම රතිඤ්ඤා පත්තු කළෙත් අපි. අන්තිමට මෛත්‍රි පැරදිච්ච ශ්‍රී ලංකා මන්ත්‍රිවරුන් අරන් ඒ අයට කැබිනට් ඇමැතිකම් දීලා යහපාලනය ඉදිරියට ගෙනියන්න ඕනේය කිව්වම "හා ඒකත් කමක් නෑ" ය කියලා ඉවසගෙන උන්නෙත් අපි. අන්තිමට අපිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැද්ද..?" ය කියලාය.

එහෙම කියන්නට, එහෙම දකින්නට යූ.එන්.පී.කාරයන්ට අයිතියක් හා ඉතිහාසයක් ඇති බව නොරහසකි. ඒ වුණත් මෛත්‍රි වටකරගත් යූ.එන්.පී.යෙන් ඇවිත් ශ්‍රී ලංකා එකේ බින්න බැස්ස, දැන් දැන් "අපි තමයි නියම ශ්‍රී ලංකාකාරයෝ" යැයි කියා ගන්නා අය මෛත්‍රිව අමාරුවේ දාන්න උල්පන්දම් දෙනවාය, උපදෙස් දෙනවාය කියා කතා වෙන පිරිසක්ද ඇත.
එහෙත් මෛත්‍රි "ජනාධිපතිවරයා හැටියට" කළ යුතුව තිබෙන දේ කළාද, නොඑසේ නම් යූ.එන්.පී.යේ නායකයන් වැඩේ අනාගත් නිසාම දැන් වැඩේ දෙල් වේගෙන එනවා යැයි කියන පිරිසක්ද සිටිති.

මෛත්‍රි ශ්‍රී ලනිප නායකයා හැටියට කටයුතු කරන අතරේ, ප්‍රබලවම "ජනාධිපති හැටියටත්" නිර්පාක්ෂිකව කටයුතු කළ යුතුව ඇති තැනට ඉතිහාසයේ කවදාවකවත් නොපැමිණි දුෂ්කර අවධියකට පත්ව සිටින බව නම් පෙනෙයි.
බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපති අතට භාරගත් පසු එය නීතිපතිට යැවීමත්, ජනපති ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමත් යන කරුණු කාරණා පෙළගැසුණු ආකාරය අනුව මෙහි ඇති අතිශය දුෂ්කරතාව පිළිබඳව වටහාගත හැකිය.

"ජනාධිපතිත් අගමැතිත් පක්ෂ දෙකක වුණත් රටේ ප්‍රධානීන් දෙදෙනා නිසා සාමූහික වගකීම පිළිගැනීමේදී පියවරක් ඉදිරියට තියනවා නම් දෙදෙනා කතාබහ කරගත් පසු, දැනුවත් වීමකින් පසු තීන්දු තීරණ ගත යුතුය. පසුගියදා ජනාධිපති මෛත්‍රි විශේෂ ප්‍රකාශය කළේ අගමැති දැනුවත් කිරීමෙන් තොරවයි" කියා කියන පිරිසක්ද එජාපයේ සිටිති.
සමීප ආරංචි මාර්ග අනුව නම් ශ්‍රී ලනිප පාර්ශ්වයේ අයගේ මතය වී තිබෙන්නේ,

"ජනාධිපතිතුමා රටේ නායකයා හැටියට කරන ප්‍රකාශය කලින් අගමැතිතුමාට දැන්වූවා නම් අගමැතිතුමා තමන්ගේ මතය ජනාධිපතිතුමාට කියන්නත්, ජනාධිපතිතුමාගේ කතාව වෙනස් කරන්නත් ඉඩ තිබුණා. ඒ නිසා ජනාධිපතිතුමා තමන්ට රටේ ජනතාව ලබාදුන්නු ජනවරම අනුව ඇත්ත කියන්න කටයුතු කළා." ය කියලාය.
ඊට එරෙහිව එජාපයේ ප්‍රබල පිරිසකගේ මතය වී ඇත්තේ,
"තවමත් බැඳුම්කර වාර්තාවේ පිටපතක් අගමැතිතුමා අතට පත්වී නෑ. ඒකෙ තියෙන දේවල් මොනවද කියලා දැනගන්න ඉඩක් ලැබුණේ නෑ. ඒ නිසා එක ආණ්ඩුවක් ඇතුළෙ ඉන්දැද්දි එහෙම වෙන්න තියන්න හොඳ නෑ" කියලාය. මේ එජාපයේ ආණ්ඩු පාක්ෂික සහචරයන්ගේ හිත් වේදනා වුවත් දැන් මෛත්‍රි ප්‍රකාශයක් සිදුකර අවසන්ය. නීතිපතිට යොමු කරලාද අවසන්ය.

තත්ත්වය මෙසේ තියෙද්දි පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසත්, විවාදයක් පැවැත්විය යුතු බවටත් විශාල හඬ නැඟීමක් සිදු කෙරිණි. ඒකාබද්ධයත්, ජවිපෙත් සෙසු පක්ෂත් ඊට එක්වූ අතර අගමැති රනිල්ගේ පාර්ශ්වයද ඊට එකඟතාව පළ කරමින් කතානායකවරයාට දැනුම් දී පාර්ලිමේන්තුව කැඳවන්නට යුහුසුලු වන්නේ තවත් නාටකීය අවස්ථාවක් මතු කරමිනි.
පාර්ලිමේන්තුව හදිසියේ රැස්වුවද වාර්තාව ලබාදීමක් නොවූ නිසා එය මහා කලබැගෑනියක් බවට පත්වී ගුටිබැට හුවමාරුවක් දක්වා ඇදී යන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ගෞරවයට බරපතළ හානි සිදු කරමිනි.

රනිල් පාර්ශ්වයට එරෙහිව හෝ වේවා, මෛත්‍රි පාර්ශ්වයට එරෙහිව හෝ වේවා සමස්ත ආණ්ඩුවටම විරෝධතාවක් පෑමේ උච්ච අවස්ථාවේ වටිනාකම මේ "ගුටිබැට හුවමාරුව" නිසා නැතිවී ගිය බවටත් මත පළවන්නේය. මේ අතර....
"කොමිසමේ වාර්තාව අගමැතිතුමාගෙන් සඟවන්න ගත්ත උත්සාහයක් තියෙනවා. ඒකට අගමැතිතුමාගෙ හිත රිදිලා තියෙන්නේ"යි එජාපයේ මන්ත්‍රිවරු තැන තැන කතා වෙන්නේ මේ උභතෝකෝටිකය මැදය.

"නෑ. නෑ. එහෙම එකක් නෑ. ජනාධිපතිතුමා ඒ කතාව ඒ විදියටම කරපු නිසා එතුමාට ලකුණු වැටුණා. එතුමා මේ කොමිසමේ තොරතුරු රටට කියපු විදිය හරියටම හරි. මේගොල්ලො ඒකට කුලප්පු වෙලා. ජනාධිපතිතුමා එහෙම නොකළා නම් විශ්වාසයක් නැති වෙනවා. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම කතාව තමයි එතුමා කළේ"
එහෙම කතා වෙන්නේ මෛත්‍රි රකින්න මේ වනවිට දරදිය අදින හොඳම කණ්ඩායමය.
"පළාත් පාලන ඡන්දෙන් පස්සේ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වේවි. මෛත්‍රිත්, රනිලුත් අමතක නොවන පාඩම් ඉගෙන ගනීවි. ඔහොම දෙගොල්ලො ඇන කොටාගන්න එක හොඳයි. එහෙම වෙන්නත් ඕනෑ. අපි ඔය දීගේ හරියන්නෙ නැති බව මෛත්‍රිට කිව්වා. දැන් ඔය ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. එයා ආවේ දූෂණ වංචා නැති කරන්ඩනේ. දැන් එයාටම කියන්න වෙලා තමන්ගෙ ආණ්ඩුවෙන් දූෂණ වෙලාය කියලා."

ඒකාබද්ධයේ ප්‍රබලයන් තැන තැන කියාගෙන යන්නේ එහෙමය. මේ අතර සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් රැස්වූ කෝප් කමිටු වාර්තාව අගමැතිවරයා 2016දී නීතිපතිවරයාට යවා ඇති බවත්, ඊට මේ තාක් පියවරක් නොගෙන තිබීම ගැනත් රනිල් පාර්ශ්වයේ අවධානය දැඩිව යොමුවී ඇති බවක්ද වාර්තා වෙයි. බැඳුම්කර ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුතු අයට එරෙහිව ගත යුතු පියවර හදිසියේ ගත හැකි දෙයක් නොවන බව නොරහසකි. කල්ගත වන දෙයක් බවත් ප්‍රකටය. 2016 අගමැතිවරයා ඒ අනුව කෝප් වාර්තාව නීතිපතිට යොමුකර තිබෙන අතර පසුගියදා ජනාධිපතිවරයාද නීතිපතිට දැනුම් දී ඇති නිසා දැන් නීතිපති පැත්තට බෝලය එල්ල වී ඇත. නීතිපති ඊට කෙසේ ප්‍රතිචාර දක්වාවි දැයි දැන්ම කියන්නට බැරිය.
එය පළාත් පාලන මැතිවරණය පැවැත්වූවාටත් පසු දිනයක් වනු ඇත. එය එසේ වනතුරු "අතරතුර කාලයක්" ඇත. එය දේශපාලන රඟ මඩලේ නළුවන්ට නිළියන්ට රඟන්නට හොඳ කාලයක්ය. අවස්ථාවක්ය.

මේ කාලය තුළ ජනාධිපතිවරයාට නියත වශයෙන්ම තම පාර්ශ්වය ජයග්‍රහණය කරවීම උදෙසා රනිල් පාර්ශ්වයටත්, මහින්ද පාර්ශ්වයටත් එරෙහිව දේශපාලනික වශයෙන් අවි ඔසවන්නට සිදුවනු ඇත. රනිල් පාර්ශ්වයටද සෘජුව හා වක්‍රව මෛත්‍රි පාර්ශ්වයට එරෙහිව අවි ඔසවන්නට සිදුවනු ඇත. එබැවින් මෛත්‍රිට මෙහිදී පෙරමුණු දෙකකට එරෙහි වීමටද සිදුවන්නේය. එබැවින් ඔහු නායකත්වය දෙන පෙරමුණට පීඩනය හා අභියෝගය දැඩිය.

මෛත්‍රි කළ දේ හරි නැත යන මතයේ පිහිටා ගම් මට්ටමේදී බළමුළු ගැන්වෙන මහින්ද පිල ජනතා ආකර්ෂණය දිනා ගැනීමේ වේගය වැඩි කර ගැනීමෙන් මෛත්‍රිටත්, රනිල්ටත්, සටන අසීරු විය හැකිය. ඒ සඳහා මහින්ද පාර්ශ්වයට ඕනෑවටත් වඩා කරුණු කාරණා ආණ්ඩුව විසින්ම ලබාදී තිබෙන්නේය. ඊටම යාවූ දැවෙන ප්‍රශ්න රැසක්ද නිසා ආණ්ඩුව හොඳටෝම අනාගෙන ඇත්තේය.

මේ පීඩනය මැද ජනතා ආකර්ෂණය දිනාගෙන තමන්ගේ ගොඩ වැඩි කරගන්නට මෛත්‍රිටත් රනිල්ටත් බරපතළ අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවීම වළක්වන්නට බැරිය.
එම නිසා පසුගිය සතියේ මෛත්‍රි හා රනිල් ජනතාව අමතා කතා කර තමන්ගේ ගොඩ වැඩි කරගන්නට ගත් තැත මෙසේය.
"මෙරට දේශපාලන සංස්කෘතියේ පවතින අවභාවිතයන් නිසා මොරගහකන්ද ජලාශයෙන් ජනතාව උදෙසා ජලය නිකුත් කිරීම වසර පහකින් පමාවුණා"

මෛත්‍රිපාල සිරිසේන
2018/01/08 දා පොල්ගොල්ලේදී
මෙහිදී මෛත්‍රි කළ කතාවෙන් මහවැලිය මුලින්ම ඇරැඹූ බණ්ඩාරනායක මැතිනිය, මෛත්‍රිපාල සේනානායක මෙන්ම එම ව්‍යාපාරය කඩිනම් කර වේගවත් සංවර්ධනයක් උදා කළ ජේ.ආර්. ජයවර්ධන රජයත්, ගාමිණී දිසානායකත් සිහිපත් කෙරුණු අතර මහවැලි ව්‍යාපාරය නිමාවට පත් කළ නායකයා තමන් බවත් පැහැදිලි කෙරුණේය. එය යූ.එන්.පී. ඡන්දවලටත් ශ්‍රී ලංකා ඡන්දවලටත් එකවර ආමන්ත්‍රණය කිරීමක් වැනි විය. මෛත්‍රි මොරගහකන්ද ජලාශයෙන් එසේ ලකුණු දමාගත්තේ එහි කටුක යාථාර්ථය සිහිපත් කරමිනි.
රනිල් වෙනත් කෝණයකින් ජනතාව අමතන්නට උත්සාහ කරමින් තම ස්ථාවරය පැහැදිලි කරන්නට පටන් ගත්තේය.
"ජාතික රජය දුන් සියලු පොරොන්දු ඉටු කිරීම ගැන ජනතාව කිසිම සැකයක් තියාගන්න එපා. අපි පසුගිය වසර දෙකේදී සැලසුම් සහගතව ඒ කටයුත්ත කළා. මෛත්‍රිපාල සිරිසේන මහතා රට භාරගත් පසුව යහපාලන රජය මෙම පාලම් ව්‍යාපෘතිය ආරම්භ කළා"

රනිල් වික්‍රමසිංහ
2018/01/08
රාජගිරිය ගුවන් පාලම විවෘත කරමින්
මෛත්‍රිවද සිහිපත් කර යහපාලන ආණ්ඩුවද සිහිකොට ඒ යටතේ රාජගිරිය ගුවන් පාලම නිම කරවූ බවට යාප්පුවෙන් මෙන් හීන් සීරුවේ කතා කළ රනිල් එයින් මධ්‍යස්ථ මතයක් දෙන්නට උත්සාහ කළේය.

ඒ නිසාම මහින්ද, මෛත්‍රිගේ පාර්ශ්වයටත්, රනිල්ගේ පාර්ශ්වයටත් ඇහෙන්න ජනතාවට කියන්නට උත්සාහ ගත්තේ මේ යහපාලන ආණ්ඩුව කමකට නැති එකක් කියලාය.
"ණය අරගෙන අප කළ දේවල් රට වටේම දකින්න තියෙනවා. මේ ආණ්ඩුව ණය අරගෙන රටට කළ දේවල් හොයන්න වෙනම කොමිසමක් පත් කළ යුතුය. රට දැන් කැඳ හැළියක්. මේ අර්බුදවලින් බේරෙන්න නම් පෙබරවාරි 10දාට පොහොට්ටුවට ඡන්දය දිය යුතුයි. මේ මැතිවරණය ගමේ පාර හදන්න, ලයිට් එක දාගන්න මැතිවරණයක් නවෙයි. රට වෙනුවෙන් මේක ජනමත විචාරණයක් කරගන්න ඕනෑ එකක්"

මහින්ද රාජපක්ෂ
2018/01/06 කඩවතදී
මහින්ද පෙන්වන්න උත්සාහ කරන්නේ ආණ්ඩුවේ මේ වියවුල් සහගත තත්ත්වය වහා ඉවත් කොට තමන් වටා ජනතාව පෙළ ගැසී නව යුගයකට රට ගෙන යා යුතු බවටය. ඒ අනුව ඉදිරිය උණුසුම්ය.

එබැවින් මේ සටහන නිම කරන්නට පෙර බි්‍රතාන්‍ය පුවත්පතක් වූ ඊඩඥ ඊඥඩඥඨපචනඩ හි 1924-1950 අතර කාලය තුළ කීර්තිමත් කතුවරයකු ලෙස කටයුතු කළ ඒපබඩභප එචබඵධද සිය කතුවැකියකින් දැක්වූ අදහසක් මෙසේ පෙළ ගැස්වීම කාලෝචිත යැයි හැඟිණි.
"දේශපාලනඥයන් මවන වචන තුළ ඇති අරුත් සුන්දර විය හැකිය. එය ඒ හැටියෙන්ම අප පළ කළ යුතු වන්නේ එහි ගැඹුර පාඨකයාට හොඳින් දැනගන්නටය. කිසිවක් අපි නොකියන්නෙමු. සිතන්නට ඉඩ හරින්නෙමු." (ඒපබඩභප එචබඵධද)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon