අසූ පස් වියෙහිදීත් ප්‍රදර්ශනයක් තියන සිත්තර මිත්තණිය චාමෙන් මෙන්ඩිස්

  👤  3657 readers have read this article !
By mawbima 2018-01-14

ලිපිය ආරම්භ කරන්නේ චාමෙන් මෙන්ඩිස් නම් ඇය චිත්‍ර ශිල්පිනියක් ලෙස හඳුන්වා දෙමිනි. එයට හේතුව වන්නේ ගස් ගැන ආදරයෙන් නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානමින් සිටින නිසාවෙනි. ඇය මේ වනවිට අසූ පස් වියැති මිත්තණියකි. ජනවාරි 19 වැනිදා සිට 22 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී තමන්ගේ තුන්වැනි චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමට චාමෙන් මහත්මිය ලහි ලහියේ සූදානම් වන්නීය.

ඇය අපට හමුවූයේ ඇගේ චිත්‍ර ප්‍රදර්ශනය නිසාවෙනි. ඇය මුලින්ම මා විසින් හඳුනා ගත්තේ චිත්‍ර ශිල්පිනියක ලෙසිනි. නමුත් ඇය ශ්‍රී ලංකාවේ පළමු වැනි විධායක ජනාධිපතිවරයා වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ලේලියයි. හොඳින් හඳුනා ගන්නා පරිදි පැහැදිලි කළහොත් ජේ.ආර්. ජයවර්ධනගේ මුනුපුරකු වන ප්‍රදීප් ජයවර්ධනගේ මවයි.
අෑ වටා රසවත් කතා තවත් ඇති බව ඇති වුණු හැඟීමෙන් අෑ පිළිබ¼දව තවත් විමසන්නට සිතුවෙමි.
ලිපිය ආරම්භ කරන මොහොතේ ඇය චිත්‍ර ශිල්පිනියක ලෙස හැදුන්වූවත් ඒ සැමට වඩා සුවිශේෂී අයුරින් ඇයව හඳුනාගත හැකි තවත් බොහෝ දේ ඇත. ඇය වෙඩික්කාරියකි. නර්තන ශිල්පිනියකි. එසේම ලංකාවේ පළමු ගුවන් නියමුවරියයි.

ඇය ශූරතා දිනූ වෙඩික්කාරියකි. ඒ හැටේ දශකයේදීය. වෙඩි තැබීම ඉගෙන ගැනීමට ආසාවෙන් උන් ඇය මීගමුවේ වෙඩි තැබීමේ සංගමයකට බැඳී වෙඩි තැබීම ඉගෙන ගත්තාය. ඇය කුඩා කල තම පියා සමඟ දඩයමේ ද ගියාය.

ඒ දිනවල වෙඩි තැබීමේ තරග පැවැතියේ පිරිමින්ට පමණි. එම නිසා ඇය පිරිමින් සමඟ වෙඩි තැබීමේ තරග බිමට ඇදුණාය. නාවික හමුදාවේ සහ යුද හමුදාවේ දක්‍ෂ වෙඩික්කාරයන් සමඟ තරග වැදී ඔවුන් පරදවා සම්මාන ලබාගත් බව සිහිපත් කරන්නීය. ඇගේ දක්‍ෂතා හමුවේ පරාජය වන්නට බිය වූ දක්‍ෂ වෙඩික්කරුවන් ඇය තරග කරන තරගවලට සහභාගී වන්නට අකැමැති වූ බව සිහිපත් කරන්නේ සිනාහවක් මුවේ රන්දාගෙනය.

එසේම ඇය දක්‍ෂ නැටුම් ශිල්පිනියකි. භරත නාට්‍යයම් නර්තන කලාව හදාරා ලංකාවේ පළමුවරට අරංගේත්‍රම් උත්සවයක් පැවැත්වූ ශිල්පිනිය වන්නේ චාමෙන් මහත්මියයි. එදා ඇයගේ ලංකාවේ නැටුම් ගුරුවරිය වූයේ ශේකා පලිහක්කාරයි. භරත නාට්‍යම්වල ඉන්දියානු ගුරුවරයා වූයේ ගෝවින්ද පිල්ලේ නාට්‍ය ශිල්පියායි. භරත නාට්‍යම්වල එන පන්ජාව්‍රර් නැටුම් ශිල්පයේ අවසාන ගුරුවරයා වූයේද ගෝවින්ද පිල්ලේ ශිල්පියායි. මේ ගුරුවරයාගේ දැනට ජීවත්වන එකම ගෝලයා වන්නේ චාමෙන් මහත්මියයි.

ඇයට නැටුම් ඉගෙන ගන්නා ආසාව ඇතිවූ කාලයේ ගෝවින්ද පිල්ලේ ශිල්පියා මහලුව ගොසින් තිබිණි. එතුමා ලංකාවට ගෙන්වාගෙන මාස තුනක් තිස්සේ අපේ නිවෙසේ සිට නැටුම් ශිල්පය මට ඉගැන්වුවා. ඒ වනවිට එතුමාට හිටගෙන නටන්න බැරි තරම් දුර්වලයි. බිම ඉඳගෙන නටන විදිහ මට කියා දුන්නා. දවසට පැය 6 ගාණේ් ශිල්පය ඉගෙන ගත්තා. භරත නාට්‍යම්වල අරංගේත්‍රම් කළ ලංකාවේ පළමු ශිල්පිනිය ලෙස වික්ටෝරියා රැජන ලංකාවට එන මොහොතේ භරත නැටුමක් ඉදිරිපත් කරමින් ඇය පිළිගත්තේද චාමෙන් මහත්මිය විසිනි.

ඇය ධර්ම ප්‍රදීපිකා නම් ගීත නාට්‍යයක් ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබුණාය. 1959 සැප්තැම්බර් මාසයේදීය. ගීත නාට්‍ය ඉදිරිපත් කරන්නට ඔන්න මෙන්න තිබියදී ඇය මවක් වන්නට යන බව දැන ගත්තාය. එනම් ඇගේ පළමු දරුවා වන ප්‍රදීප් ජයවර්ධන ලැබෙන්නට ආ මුල් කාල වකවානුවයි. ඇයගේ වෛද්‍යවරයා කීවේ නටන්න හොඳ නැති බවය. නමුත් භාරගත් වැඩය අතරමඟ දමා සංවිධායකවරුන් අපහසුතාවට ලක් කරන්නට ඇයට සිත් නොවිණි. එසේ නම් සෙමින් අඩි තබා නටන ලෙස වෛද්‍යවරයා ඇයට උපදෙස් දුණි. අවසානයේ වෛද්‍යවරයා වේදිකාවේ ඉදිරිපස සිටියදී ඇය ගීත නාට්‍යයේ රඟ දැක්වූවාය.

ගුවන් නියමුවරියක ලෙස ඇය ඉගෙන ගන්නට පටන් ගන්නා විට තිදරු මවකි. නියමුවරියක ලෙස ඉගෙන ගෙන ඒ සඳහා බලපත්‍රයද ලැබිණි. ඇය ලංකාවේ පළමු ගුවන් නියමුවරිය ලෙස බලපත් ලබාගත් අය ලෙසටද ඉතිහාසයට එක් වී ඇත. දරුවන් තිදෙනකුගේ මවක් ලෙස ඇය ගුවන් නියමුවරියක ලෙස සේවයට ගියේ නැත. ඇය අවස්ථාව කැප කර දරුවන් වෙනුවෙන් යෙදවීමට තීරණය කළාය.

චාමෙන් මහත්මියගේ පළමුවැනි චිත්‍ර ප්‍රදර්ශනය "වෘක්‍ෂ" පැවැත්වූයේ 2011 වසරේදීය. ඇය චිත්‍ර ඇඳීමට පටන් ගත් අයුරු සිහිපත් කරයි. මගේ පොඩි පුතා සංජීව් චිත්‍ර පටන් ගත්තා. එතකොට එයාට අවුරුදු දෙකහමාරක් ඇති, මම පුතාව එක්ක ගියා චිත්‍ර ගුරුවරියක් ළඟට, ඒ ගුරුවරිය මාත් සමඟ ඉගෙන ගත් කෙනෙක්. එයා දන්නවා මම ඉස්කොලෙදී චිත්‍ර ප්‍රදර්ශනවලටත් චිත්‍ර ඇන්දා කියලා. ඉතිං එයා කීවා පන්තිය ළඟ නිකම් ඉන්නේ නැතුව චිත්‍ර අඳින්න කියලා.
පුතා 1976 චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බා. එතකොට එයාට අවුරුදු පහයි. එයාගේ පිංතූරයක් එක්ක මාත් පිංතූර ටිකක් තිබ්බා. එහෙම කළේ හේතුවක් ඇතුවයි. මොකද සමහර අය කියනවනේ මේ චිත්‍ර අම්මා ඇන්දා කියලා. ඉතින් මට ඕන වුණා පෙන්නන්න අම්මට පුතාගේ පිංතූර කවදාකවත් අඳින්න බැරි විත්තිය. පුතා ඒ තරම් දක්‍ෂයි. ඔහොම තමයි මම චිත්‍ර අඳින්න පටන් ගත්තේ.

ඇයගේ චිත්‍රවල ඇත්තේ ගස් වැල් පමණකි. ඇය ගස් වැල් පමණක් අඳින්නේ සිතට නැඟි ප්‍රශ්නය විමසුවෙමි.
මගේ අම්මා ගස්වලට හරි ආසයි. පොඩි කාලේ එයා මට කියලා දුන්නා ගස් නැත. ඒ නිසා වෙන්නැති පොඩි කාලේ ඉඳලම මමත් ගස් අඳින්න හරි ආස. ඒ වුණත් මම දන්නේ නැහැ ඇත්තටම ගස් අඳින හැටි. 1995 දී කරුණාසිරි විජේසිංහ ගුරුතුමා හඳුනා ගත්තා. එයාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් තිබුණා 2004 දී "ත්‍රී ලයිෆ්" කියලා. සර්ගේ පිංතූර දක්ක ගමන් මම තීරණය කළා මේ සර්ගෙන් තමයි මම ඉගෙන ගන්න ඕනි කියලා. 2005 ඉදල මේ දක්වා මම එතුමාගෙන් චිත්‍ර ගැන ඉගෙන ගන්නවා. ඇයගේ කතාව කලාවට මෙන්ම ඉගෙනීමට තැනක් වේලාවක් වයසක් කිසිසේත්ම හේතුවක් නොවන බව සිහිපත් කරයි. චාමෙන් මහත්මිය වැඩිපුරම කැමැති ගස් ඇත්තේ වියළි කලාපයේ බව කියන්නීය. ඒක පුදුම පරිසරයක්. වියළි කලාපයට ගියාම ඒක මට අලුත් ලෝකයක් වගේ. ඇය වැඩියෙන්ම ඇඳීමට කැමති ගස වන්නේ මලිත්තන් ශාකයයි. මේ ප්‍රදර්ශනයට ඇය මලිත්තන් ගසක චිත්‍රයක් එකතු කරන බව කීවාය.

මේ ප්‍රදර්ශනයට චිත්‍ර 70ක් පමණ එක් වෙයි. කළු- සුදු සහ වර්ණ යන අංශවලින් චිත්‍ර නිමවා ඇත. ඇය මේ ප්‍රදර්ශනය පවත්වන්නේ අරාබි මිතුරියක වන මින්හා මහුෂුකීන් මහත්මියත් සමඟයි.

ඇය චිත්‍ර ශිල්පිනියක ලෙසත්, දක්‍ෂ වෙඩික්කාරියක ලෙසත්, ගුවන් නිමවුවරියක ලෙසත්, නැටුම් ශිල්පිනියක ලෙසත් දක්‍ෂතා එක ලෙස දක්වන්නීය. ඒ සියලුම අංශවලින් වාගේ "ලංකාවේ පළමු" කියන විශේෂණය එක් වන්නීය. මේ සියලු භූමිකා අතරින් ඔබ වැඩිපුරම කැමති කාටද? මා අසන විට ඇය නැටුම් ශිල්පිනියට තමයි කියමින් හිනැහුණාය.
රසිකා හේමමාලි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon