වයස අඩු කර රග්බි නීති රීති වෙනස් කළත් පාසල්වත් ක්‍රීඩකයන්වත් දන්නෙ නැහැලු

  👤  3599 readers have read this article !
By mawbima 2018-01-12

විචිත්‍ර වීරසිංහ

පළමු කොටසේ රග්බි ක්‍රීඩා කරනු ලබන පිළිගත් පාසල් කිහිපයක අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අත්තනෝමතිකව නීතිරීති කිහිපයක් වෙනස් කිරීම හේතුවෙන් ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකින් දැඩි විරෝධතාව එල්ල වී ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.
2009 වසරට පෙර පැවැති අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය එම වසරේදී අවුරුදු 20න් පහළ වයස් කාණ්ඩය දක්වා වෙනස් කර තිබූ අතර, මේ දක්වා පැවැති අවුරුදු 20න් පහළ තරගාවලිය නැවතත් අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය ලෙස වෙනස් කිරීම මෙම අර්බුදයට හේතු වී ඇත.
ඒ අනුව රග්බි ක්‍රීඩා කරනු ලබන පිළිගත් පාසල් බොහොමයක් දැනුවත් කර මෙම වෙනස් වීම සිදුකළ යුතුව තිබුණත් බොහොමයක් පාසල් සඳහා මෙම දැනුවත් කිරීම් සිදුකර නොමැති බවද පැවැසේ.

කෙසේ වෙතත් වෙනස් කර ඇති නීති රීතිවලට අනුව මෙයට පෙර අවුරුදු 20න් පහළ තරගාවලියේදී තරගයක් විනාඩි 40ක් පැවැත්වෙන නමුත් අවුරුදු 19න් පහළ තරගාවලියේදී එම කාලය විනාඩි 35ක් දක්වා අඩුකර ඇත. එයට අමතරව ස්ක්‍රම් අවස්ථාවේදී තෙරපුමෙන් ගමන් කරන (තල්ලු කරන) දුර ප්‍රමාණය මෙයට පෙර සීමාවක් නොමැති වුවද මෙවර එම දුර මීටර් 1.5ක් දක්වා ප්‍රමාණයකට සීමා වී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ නිලධාරියකු පැවැසුවේ මෙවන් අදහසකි. "අවුරුදු 20න් පහළ තරගාවලියට සාපේක්‍ෂව අවුරුදු 19න් පහළ තරගාවලිය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ආබාධ ඇති වීම අඩුවෙනවා. ඒ කියන්නේ අවුරුදු 20න් පහළ තරගාවලියකදී ස්ක්‍රම් අවස්ථාවේදී ඕනෑම දුරකට තල්ලු කිරීමට හැකි වීම නිසා ආබාධ ඇතිවීමේ ප්‍රමාණය වැඩියි. ඒත් අවුරුදු 19න් පහළ තරගාවලියේ ස්ක්‍රම් කිරීම මීටර් 1 1/2කට (මීටර් එකහමාරකට) සීමා වීම තුළින් ක්‍රීඩකයන්ගේ ආබාධ හට ගැනීම අඩුවෙනවා. ඒ වගේම අවුරුදු 20න් පහළ තරග පැවැත්වෙන්නේ ක්‍රීඩා සමාජ මට්ටමේ නිසා ඒ තුළින් පාසල් දරුවන්ට ආබාධ ඇතිවන අවස්ථා වැඩියි" යනුවෙන් පැවැසූ එම නිලධාරියා, මෙම තීන්දු තීරණ ගනු ලැබුවේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉල්ලීම මත බවත් කීය.

මේ අතර පාසල් රග්බි සංගමය ගත් මෙම තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපතිවරයකු පවසා ඇත්තේ මෙවැනි වෙනස් කිරීමක් සම්බන්ධයෙන් තම සංගමය කිසිවක් නොපැවැසූ බවත්, සියලු පාසල්වල අදහස විමසා බලා නිවැරදි තීරණයක් ගන්නා ලෙස පමණක් තම සංගමය පැවැසූ බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon