කඩුව බෙල්ල ළඟින් නතර නොකරන බව බැඳුම්කර විවාදයේදී රටට කිව හැකියි

  👤  3593 readers have read this article !
By mawbima 2018-01-12

ප්‍රකාශයක් කරන්න ඕන වෙලාවට කරන්නයි, නොකළ යුතු වෙලාවට නොකරන්නයි කවුරුත් දැනගන්න ඕන' යැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ පැවැසූයේ ඊයේ (11දා) ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය. එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
අපි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ජනහමු ආරම්භ කළා. ආයතන 19ක අපේක්ෂකයන් 429 දෙනකු ඇතුළු අත සලකුණින් තරග කරන සහ දිස්ත්‍රික්කයේ ජනතාව පමණක් ඊට සහභාගි වුණා. අපි පිටතින් ජනතාව ගෙනත් පිට්ටනි පිරෙව්වේ නැහැ.

ශ්‍රීලනිප මැතිඇමැතිවරු බොහෝ දෙනෙක් අනුරාධපුරයේ ආගමික කටයුත්තකට සහභාගි වී සිටියදී පාර්ලිමේන්තුවේ යම් ගැටුමක් ඇතිවී තිබුණා. බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් අනුව කටයුතු කරන අවස්ථාවකයි එම ගැටුම් ඇති වුණේ. එම වාර්තාව ප්‍රසිද්ධ ලේඛනයක් ලෙස පාර්ලිමේන්තුවේ සභාගත කරන බව ජනාධිපතිතුමා කලින්ම ප්‍රකාශ කළා. ඒත් ඒ වාර්තාවේ යම් යම් සාක්ෂි රැකගත යුතුව තිබෙනවා. ඒවා රැකගන්නෙ නැතුව ප්‍රසිද්ධියට පත්කළ වහාම මේවාට වගඋත්තර කියන්න ඉන්න පිරිස්වලට පහසුවෙන් ප්‍රවේශයක් ඇති කරගන්න අවස්ථාව සැලසෙනවා.

කොමිසම ක්‍රියාත්මක වන අවස්ථාවේ සමහර සාක්ෂි වසන් කරන්න කළ ප්‍රයත්න, තර්ජන අපි දුටුවා. ඒ නිසා සාක්ෂි සඳහා අවශ්‍ය ආරක්ෂිත විධි විධාන අරගෙන තමයි මහජන ලේඛනයක් විය යුත්තේ කියල නීතිපතිතුමා උපදෙස් දී තිබුණා. ඒ කටයුතු සඳහා සතියක කාලයක් අවශ්‍යයි කිව්ව නිසා තමයි ජනවාරි 17 එම වාර්තාව පාර්ලිමේන්තුවට භාරදෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නෙ.

දේශපාලන පක්ෂ දැඩි ඕනෑකමකින් විවාදයක් ඉල්ලනවා. අගමැතිතුමත් කතානායකතුමාට කියල තිබුණා අහවල් දවසෙ පාර්ලිමේන්තුව කැඳවන්න කියල. ඒත් දිනය තීන්දු කරන්න කලින් වාර්තාව පාර්ලිමේන්තුවට එන දවස දැනගන්න තිබුණා. එහෙම වුණා නම් ඔය ගැටුම් ඇති වෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය රටේ දේශපාලන සදාචාරයට සුදුසු නැහැ.

සමහරු බැඳුම්කර කොමිසමේ භුක්තිය සහ අයිතිය දෙකම ගන්න යනවා. කෝප් කමිටුවේ වාර්තාවෙත්, ජනාධිපති කොමිසම් වාර්තාවෙත් වෙනසක් තිබෙනවා. කෝප් කමිටුවේ සාක්ෂි දේශපාලනඥයන් විසින් ඇහුවා. තමන්ට රුචි ප්‍රශ්න ඇසුවා. රුචි නොවන ප්‍රශ්න ඇසුවෙ නැහැ. පාද සටහන් දාල වහගන්නත් හැදුවා. විකෘති කරන්නත් හැදුවා.
පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන වෙලාවේ විශේෂ ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. විවාදය පැවැත්වෙන අවස්ථාවේ ඕන තරම් ප්‍රකාශ සිදු කළ හැකිව තිබුණා. එහෙම නැත්නම් වෙනම ප්‍රකාශයක් කරන්න පුළුවන්.

පාර්ලිමේන්තුවට යන්නෙ නීති හදන්නයි. නීති හදන්න දන්නෙ නැති අය ගහගන්නවා. පනතක් කියවන්න පුළුවන් වෙන්න ඕන.
බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරිපත් වුණාම සිංහල හා දෙමළ බසට පරිවර්තනය වෙන්න ඕන. නැත්නම් වරප්‍රසාද ප්‍රශ්න මතු කරන්න පුළුවන්.
කොමිසම අවසන් වන තුරු මාස 10ක් විතර ඉවසන්න පුළුවන් වුණා නම් තව සතියක් ඉවසන්න බැරිද? මේක පික් පොකට්කාරයගෙ කතාව වගේ කියල ජනාධිපතිතුමා කිව්වෙ ඒ නිසයි. අවශ්‍ය අයට ග්‍රහණය කරගන්න පුළුවන්. අකැමැති අයට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලටද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

පාර්ලිමේන්තු විවාදයෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
එක කඳවුරක් බලාපොරොත්තු වෙනවනෙ කඩුව බෙල්ල ළඟට විතරක් ගෙනිච්ච කියල. එහෙම නැහැ කියල කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - සස්ස¼ද ලියනාරච්චි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon