අවංක එජාප පාක්ෂිකයන් සිටී නම් පොදුජන පෙරමුණේ පොහොට්ටුවට ඡන්ද දෙන්න

  👤  3694 readers have read this article !
By mawbima 2018-01-12

එක්සත් ජාතික පක්‍ෂයට දේශපාලනය කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් අවංක එ.ජා.ප. පාක්‍ෂිකයන් සිටින්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවැසීය.
එ.ජා.ප.ය පිළිබඳව ජනතාවට තිබූ විශ්වාසය වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයත් සමඟ බිදී ගොස් ඇති බව ද ඒ මහතා පැවැසුවේය.
ඊයේ (11දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසුවේය.

මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්‍ෂයේ අපේ සහෝදර පක්‍ෂ සමඟ එක්ව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. මේ ආණ්ඩුව පැමිණි දින සිට රටේ ස්වෛරීභාවය නැති වී තිබෙනවා. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නිසා අපේ රට ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා රටේ සියලු ජාතීන් එකමුතු වෙන විදියට කටයුතු කළා. දැන් එය ක්‍රමයෙන් නැති වී ගෙන යමින් තිබෙනවා. ජීවන වියදම උසුලා ගත නොහැකි තත්ත්වයට පත්වෙලා. මේ ඒ වගේම අපේ රට ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙන යෑමේ ඉලක්කය සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තිබියදී මේ ආණ්ඩුව ඒ ගමන නැවත ආපස්සට හරවා තිබෙනවා.

මර්දනය හා පළිගැනීම ශීඝ්‍රයෙන් වැඩි වී තිබෙනවා. එය රණවිරුවන්ට දේශපාලකයන්ට රජයේ සේවකයන්ට එක සේ බලපා තියෙනවා.
අපි අලුත්ම පක්‍ෂයක්. පසුගිය නොවැම්බර් 02 වැනිදාටයි අපේ පක්‍ෂයට අවුරුද්ද පිරුණේ. මේ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. ලැබෙන තොරතුරු අනුව පළාත් 07ක ජයග්‍රාහී මට්ටමෙන් අපි සිටිනවා. පසුගිය දිනවල මදූෂා රාමනායක කියන රංගන ශිල්පිනියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා දෙන්න මේ කාර්යාලයේ ඉන්න ප්‍රබලයෝ දෙන්නෙක් ලිංගික අල්ලස් ඉල්ලුවා කියන චෝදනාවක් කළා. ඒ පැමිණිල්ල අපිට ලැබුණොත් අපි ඕනෑම කෙනෙකුට විරුද්ධව පරීක්‍ෂණයක් කරනවා. අපේ පක්‍ෂ බොහොම විවෘතයි. අපිට එවැනි පැමිණිල්ලක් ලැබිලා නැහැ.
ගම්වල අපිට තිබුණාට වඩා හොඳ තත්ත්වයක් පේනවා. මේ කොට්ඨාස ක්‍රමය හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්න ඕනේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවට. අපේ මැතිවරණ කොට්ඨාස 5092ක් තියෙනවා. තොරතුරු අනුව ඒ කොට්ඨාසවලින් 70%ක් අපි ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ 3500කට අධික මන්ත්‍රිවරු පිරිසක් අපිට ලැබෙනවා.
එක්සත් ජාතික පක්‍ෂයට නම් දේශපාලනය කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. සාමාන්‍යයෙන් ජනතාව අතර පිළිගැනීමක් තිබුණා හොඳ කළමනාකරණය කළ හැකි පක්‍ෂයක් කියලයි. ඒක මේ අවුරුදු තුනේදී ඒ අය නැති කර ගත්තා. ගංවතුර ආධාර ටික හරියට බෙදා ගන්න බැරිව රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ කියනවා මම හෙලිකොප්ටර් දෙකක් උඩින් ගිහින් හලන්න තිබුණලු. ඒ වගේ බොළඳ කතා කියන තත්ත්වයට එක්සත් ජාතික පක්‍ෂ නායකයා ඇද වැටිලා. එක්සත් ජාතික පක්‍ෂ නායකයෙක් මේ විදිහට හැසිරුණු අවස්ථාවක් ඉතිහාසයේම නැහැ.

ඊළඟට එක්සත් ජාතික පක්‍ෂය ආවම ව්‍යාපාරිකයන්ට හොඳයි කියලා මතයක් තිබුණා. අද ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ඒ වගේම හැමෝම හිතාගෙන හිටියා එක්සත් ජාතික පක්‍ෂය අවංක හොර බොරු නැති අය කියලා. ඇවිල්ලා දින 100 යන්න ඉස්සර වෙලා ලංකා ඉතිහාසයේ දරුණුම හොරකම වුණා. දැන් එක්සත් ජාතික පක්‍ෂය දුර්වල තත්ත්වයට පත් වෙලා. පක්‍ෂය බේරා ගන්න අවශ්‍ය නම් මේ වෙලාවේ එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න.
අපේ කාලයේ බැඳුම්කර වංචාවක් වුණේ නැහැ. ඒ බව විගණන වාර්තාවලින් පෙන්වා දීලා තියෙනවා. සිල් රෙද්දටත් නඩු දාන යුගයක එවැනි දෙයක් තිබුණා නම් නඩු නොදා සිටියි කියලා හිතෙන්නේ නැහැ. අපේ කාලයේ එවැන්නක් සිදු නොවුණු බව වගකීමෙන් කියනවා.

ඒ වගේම අපේ පක්‍ෂයේ මහින්ද චින්තනය මත පදනම්ව හැදුණු පක්‍ෂයක්. අපේ පරමාදර්ශ නායකයා මහින්ද රාජපක්‍ෂ. ජී.ඇල්. පීරිස් මහත්තයා අපේ සභාපති. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගෙන් තොර පක්‍ෂයක් නැහැ. ඒ ඡායාරූපය හැරෙන්න වෙන කාගේ ඡායාරූපයක් භාවිත කරන්නද?
ජනාධිපතිවරයා ධුර කාලය සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරලා තියෙනවා. නීතිය උසාවිය පැත්තෙන් තීන්දු කරයි. නමුත් සදාචාරාත්මක පැත්තෙන් නම් ප්‍රශ්නයක්. එතුමා කිව්වේ මම අවුරුදු හයක් ඉන්නේ නැහැ කියලයි. ඔබ අමතක කරන්න එපා මහින්ද රාජපක්‍ෂ දෙවැනි වර ඡන්දයට ගියේ අවුරුදු හතරක් ඉඳලයි. ව්‍යාවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් අවුරුදු පහ කරලා දැන් බලාපොරොත්තු වෙනවා අවුරුදු 6 කරන්න.

ඉෂාරා සිල්වා
ඡායාරූප -තිළිණ ප්‍රනාන්දු

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon