හොරුන් ඇල්ලීම අතහැර දැමූ ආණ්ඩුව මහ දවල් කොල්ලකන හොරු රැළක් හදලා

  👤  3640 readers have read this article !
By mawbima 2018-01-12

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හවුල් ආණ්ඩුව ඇතුළේ බල අරගලය පටන් අරගෙන ඉවරයි. මැති ඇමැතිවරු රනිල් අගමැතිවරයාගෙ අදූර්දර්ශී ක්‍රියාකලාපයට එරෙහිව වාග්ප්‍රහාර එල්ල කරනවා. ජනතාවට සුරංගනා කතා කියලා ජනතාව මුළා කරලා මීට වසර 03කට පෙර දීපු පොරොන්දුවලට අද මොනවද වෙලා තියෙන්නේ. එදා අල්ලනව කියපු හොරු වෙනුවට ආණ්ඩුව දැන් මහ දවල් මංකොල්ල කන හොරු රැළක් හදල තියෙනවා. ගොවි පවුලකින් ආවා කියන ජනාධිපතිවරයාගෙ ආණ්ඩුවට මේ වනවිට ගොවියට පොහොර ටිකවත් දෙන්න බැරිවෙලා. ගොවියො පොහොර නැතිව පාරවල් ගාණේ උද්ඝෝෂණය කරනවා. පොහොර සහනාධාරය උදුරාගෙන ගොවියාගේ ගිණුමට මුදල් දෙනව කියලා ගොවියො දැන් බැංකුව ගාණේ පෝලිම්වල රස්තියාදු වෙනවා. ඒත් ඔවුන්ට මුදල් ලැබිලා නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ ප්‍රකාශය කළේ තිස්සමහාරාමයේ පැවැති ජන රැලියකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා
දේශපාලනය කියන්නේ ඉතාමත් ගෞරවනීය සේවයක්. එදා දේශපාලනඥයා ගරු සේවයක් ඉටුකළ ජනතා සේවකයෙක්. ඔවුන් සේවය කළේ වැටුපකට නෙවේ. ඔවුන්ට ලැබුණේ දීමනාවක් විතරයි. අද දේශපාලනය මේ රටේ ඉහළම තත්ත්වයේ ව්‍යාපාරයක් වෙලා. අද ඒ තුළින් අතිශය ඉහළ ලාභ ලබන අය ඉන්නවා. මේ වනවිට මේ ව්‍යාපාරයේ නිරත වන අය ජාත්‍යන්තර තත්ත්වයේ මහා ධන කුවේරයො. ඔවුන් දැන් කෝටි ප්‍රකෝටි ගණන් ධනය රැස්කරන ඔවුන්ගේ විදේශීය බැංකු ගිණුම් දවසින් දවස තර වෙනවා. ඒත් ජනතාව හැමදාම බදු බරින්, ආර්ථික අහේනියෙන් පීඩා විඳිනවා.

එදා ජනවාරි 08 වැනිදා බලයට ආපු මෛත්‍රිපාල මහත්තය කිව්වා මේ රටට ගැළපෙන හොඳ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟනවා කියලා. අගමැති රනිල් මහත්තයත් කිව්වා රටේ තරුණ පරපුරට සුවිසල් ආර්ථික ක්‍රමවේදයක් ඇති කරනවා කියලා. අද මොකද වෙලා තියෙන්නෙ. මුළු රටේම සමස්ත ආර්ථිකය බින්දුවට වැටිලා. පොල් ගෙඩියෙ මිල රුපියල් සීයට එදා ගිහිල්ලා. හාල් මිල ඒකාධිකාරයකට යටත් වෙලා. එළවළු මිල දවසින් දවස ඉහළ යනවා. ඒත් එළවළු නිෂ්පාදනය හැමදාම වළ පල්ලෙ. ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ. මේක කෘෂිකාර්මික රටක්. රටේ බහුතර ජනතාවකගෙ ආර්ථිකය කෘෂි කර්මාන්තයයි. නමුත් මේ එකම ආණ්ඩුවකටවත් රටේ ප්‍රධාන ආර්ථිකය ගොඩනඟන්න සැලසුමක් හදාගන්න බැහැ.

මේ අය දන්නෙ රටේ ඉහළ යන බඩු මිලට සාපේක්ෂව ඒ බඩු රටින් ගෙන්න ගන්න එකයි. එතකොට තමයි මේ අයගෙ කොමිස් එක තර වෙන්නේ. අපේ ප්‍රධාන ආහාරය බත්. ඒ සඳහා අවශ්‍ය වී නිෂ්පාදනයට සුදුසු වන ඉහළම සම්පත් අපට තියෙනවා. වැව් අමුණු තියෙනවා. වැඩ කරන්න පුළුවන් හොඳ ජනතාවක් ඉන්නවා. එහෙම නම් ඇයි අපි අපේ ප්‍රධාන ආහාරය පිටරටින් එනකම් බලාගෙන ඉන්නේ. අපට පුළුවන්කම තියෙන්න ඕනෙ අපේ ආහාර අපිම නිෂ්පාදනය කරන හොඳ ජාතික ප්‍රතිපත්තිමය සැලැස්මක්. නමුත් මේ රටේ අවාසනාවටද කොහේදෝ නැත්තෙත් ඒක තමයි. මේ එකම ආණ්ඩුවකටවත් රට ගොඩනඟන ආර්ථිකය ශක්තිමත් කරන ජාතික ප්‍රතිපත්තියක් මත සකස් විය යුතු සැලැස්මක් හදන්න බැහැ. මේ හැම පාලකයෙක්ම කරන්නෙ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කර ඉදිරියට ගෙන යෑම විතරයි.

මේ වනවිට රට දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා ඉන්නවා. හැබැයි මේ බෙදෙන්නෙ ගමේ ජනතාව විතරයි. අද යූ.එන්.පී.ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාට කොළ, නිල් වශයෙන් තිබුණට මේවා නියෝජනය කරන්නෙ එකම පක්ෂයක කොටස් දෙකක්. මේ අය කවදාවත් පිල් වශයෙන් බෙදෙන්නේ නැහැ. ගමේ අය විතරයි පිල් වශයෙන් බෙදිලා ගහමරා ගන්නේ. මේ කොටස් ඡන්දයට වෙන වෙනම ඇවිල්ල ජනතාවගෙ ඡන්දය මංකොල්ල කාලා පාර්ලිමේන්තුවට ගියාම මේ දෙගොල්ලම එකයි. මේ අය වෙනම කණ්ඩායමක් විදියට ජනතාව ඉදිරියේ පෙනී සිටීම විතරයි කරන්නෙ. ඒ අයගෙ වැඩ කරගන්නෙ එකම කණ්ඩායමක් විදියටයි.

ඔවුන්ගෙ පැවැත්මට වාසිවෙන විදියට ගමේ ජනතාව බෙදා වෙන් කරනවා. ජනතාව බෙදී සිටි තරමට තමයි මේ කොටස්වල පැවැත්ම ශක්තිමත් වෙන්නෙ. ජනතාව මේ තත්ත්වය තවම තේරුම් අරගෙන නැහැ. ගෙවී ගිය හැත්තෑ වසරක අතීතය දිහා ආපස්සට හැරී බලනකොට ඔබට තේරුම් යාවි අපි මෙතෙක් කාලයක් කරල තියෙන්නෙ මේ රටේ එක්තරා කොටසක් පෝෂණය කරපු එක විතරයි කියලා. තවදුරටත් අපි මේක කරන්න ඕනෙ නැහැ. දැන් අපි අපේ අනාගත පරපුර ගැන හිතල තීරණ තීන්දු අරගන්න ඕනෙ කාලය ඇවිල්ල. දැන් ඒකට හොඳම අවස්ථාව තමයි මේ පුංචි ඡන්දය.

මේ මැතිවරණයට ඇවිත් ඉන්නවා පිපෙන්නෙ නැති පොහොට්ටුවක්. ඒ අය කියනවා අපි මෙවර ඉදිරිපත් කරපු අපේක්ෂකයො ගැන හිතන්න ඕනෙ නැහැ. හිටපු ජනාධිපති මහින්ද මහත්තය ගැන හිතලා ඡන්දය දෙන්න කියලා. මේ සැරේ මහින්ද මහත්තයට වෙන කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. ගියවර ජනාධිපතිවරණයට ආපු වෙලාවේ ඔහු කිව්වා රට ජාතිය බේරගත්ත එකේ වරදට ජාත්‍යන්තරය විසින් මම විදුලි පුටුවෙ තියන්න යනව කියලා. ඒ නිසා මෙවරත් මම ජනාධිපති කරන්න කියලා. නමුත් එහෙම වුණේ නැහැ. මහින්ද මහත්තයා පැරදුණා. දැන් වසර 03යි. කෝ අර කියාපු විදුලි පුටුව. දැන් එකෙ විදුලිය විසන්ධි වෙලාද? මේ වගේ ප්‍රශ්නයක් පොහොට්ටුවෙන් එන අයගෙන් අහන්න ජනතාවට අයිතියක් තියෙනවා.

තිස්සමහාරාම - රංජිත් මාදලගේ, තිස්සමහාරාම - රොෂාන් රාජික, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon