දියුණු රටවලත් නැති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යහපාලනය සතුයි

  👤  3306 readers have read this article !
By mawbima 2018-01-12

දියුණු රටවල පවා නොමැති දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වත්මන් යහපාලන ආණ්ඩුව තුළ අඩංගු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ජාතික සේවක සංගමයේ සභාපති අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් මාධ්‍ය ඔස්සේ පටු දේශපාලන අරමුණු පදනම් කරගනිමින් විවිධ පාර්ශ්ව එල්ල කරන ද්වේශ සහගත පහරදීම් හමුවේ වුවද වත්මන් රජය, ගෙවුණු වසර තුනක කාලය තුළදී යහපාලන ප්‍රතිපත්තිය තුළ හිඳිමින්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඔස්සේ අවංක ජනතා මෙහෙවරක් ඉටු කළ බවයි. කොළඹ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ප්‍රධාන ශාඛා පරිශ්‍රය තුළ ස්ථාපිත කළ, ජාතික සේවක සංගමයේ නව කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
ඕනෑම පාර්ශ්වයකට ආණ්ඩුව විවේචනය කිරීමේ නිදහස මෙන්ම, පදනම් සහිතව හෝ පදනම් විරහිතව වුවද මාධ්‍ය හමුවේ රජය විවේචනය කිරීමේ නිදහස ද ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී කීය. එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය ආණ්ඩු සමයේදී මෙන් ආණ්ඩු විවේචනය කිරීම නිසා මාධ්‍ය මර්දනය කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුව ක්‍රියා නොකළ බවයි. එහෙත් පසුගිය ආණ්ඩු සමයේදී දූෂණ චෝදනාවලට ලක් වූ ඇතැම් පිරිස් අද සුදනුන් සේ මාධ්‍ය අබිමුව වත්මන් රජයේ ප්‍රධානීන් විවේචනය කිරීම කනගාටුවට කරුණක් බවත් එය සැබැවින්ම මාධ්‍ය ඉදිරියේ කරනු ලබන රංගනයක් පමණක්ම වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon