සාධාරණ-ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වුවොත් හොරු කවුද කියා හෙළිවෙයි

  👤  3704 readers have read this article !
By mawbima 2018-01-12

යහපාලන ආණ්ඩුව තවදුරටත් පැවැතිය හොත් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි වෙන්නෙ විදේශිකයන්ගේ යටත් විජිතයක් විය හැකිය. මේ වන විට අපේ රටේ ප්‍රධානතම ආර්ථිකමය සම්පත් විදේශිකයන්ට විකිණීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වී තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වූ ගමන් මහ දවල් මහ බැංකුවේ මුදල් මංකොල්ල කෑවා. අද එම චූදිතයන් හට අධිකරණයෙන් නඩු පවරනවා වෙනුවට අපේ පාලන කාලයේ සිදුවී ඇතැයි කියන සේවක අර්ථසාධක අරමුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න යනවා. ඒක ඉතාමත්ම හොඳයි. එතකොට ඒ මුදල්වලට කළේ මොනවද කියලා ජනතාවට දැන ගන්න ලැබේවි. හැබැයි ඒ පරීක්ෂණ ස්වාධීන හා අපක්ෂපාතී විය යුතුයි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මේ අදහස් ප්‍රකාශ කළේ දෙබරවැවදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද පැවසීය.

කොමිසමේ වාර්තාව අනුව හෙළිවී ඇති බැඳුම්කර සිද්ධියේ මහා මුදල් වංචාවට සමාන මුදලක් 2008 වසරේදී සිදුවී ඇති බවට කොමිසමේ වාර්තාවේ අදහස බවත් එම කාලය තුළ අර්ථසාධක මුදල් බිලියන හාරදහසක් පමණ මුදලක් වෙනත් තැන්පතුවකට තැන්පත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණ පවත්වන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැම්බල් පිටියේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.
ඔක්කොම හොරකම් කරලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ රෙජිමය කියලා චෝදනා කරනවා. හැබැයි තැනින් තැන ඒවා ගැන චෝදනා කරනවා මිස සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් කරන්නෙ නැහැ.

එහෙම කළොත් රටේ ජනතාව තේරුම් ගනීවි කවුද හොරු කියලා. අද යහපාලනයේ ඉඳන් කෝටි ප්‍රකෝටි ගණන් සිදු කරන හොරකම් වංචා ගැන කතා කරන්නේ නැහැ. අද ඒවා කොමිෂන් හමුවේ හෙළිදරව් වෙලා තියෙනවා. ඒත් ජනාධිපතිවරයා කියනවා මම මේවා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගන්නයි කියලා.
අද යහපාලන ආණ්ඩුව යටතේ පාතාලය රජ වෙලා. දවස ගාණේ අහන්න දකින්න ලැබෙන්නේ මිනී මැරුම් හා දූෂණ ගැනයි. මේ වන විට රටේ හැම ගමකම අනාගත තරුණ පරපුර අතට මත්කුඩු උවදුර ව්‍යාප්ත වී තිබෙනවා. ආරක්ෂක අංශවලින් මේ මත්කුඩු කිලෝ ගණන් අත්අඩංගුවට ගත් බව මාධ්‍යවලින් ප්‍රකාශ වෙනවා. නමුත් මේවට මොනවද වුණේ. ඒවට සම්බන්ධ අයට අධිකරණ පියවර අරන් තියෙනවද. සතොස හරහා ගෙන්වපු කුඩු තොගයට මොනවද වුණේ. මේවා පිටි පස්සේ ඉන්නෙ කවුද? මේකට අහුවුණේ අහිංසක කම්කරුවෙක්. ඔහු පිටින් වංචාව යවලා යහපාලකයො සිද්ධිය යටපත් කළා. මෙවැනි තත්ත්වයන් හමුවේ අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙම ඉන්න ඇතැම් මැති ඇමැතිවරුන් දැඩි කලකිරීමකින් ඉන්නවා. ඔවුන් කියනවා මේ ආණ්ඩුවට දැන් පාණ්ඩුව හැදිලා කියලා. මේක තමයි යහපාලනයේ ඇත්ත තත්ත්වය.

හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රධාන දකුණු පළාතට ඇති කළ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ඇති නවීන පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් හම්බන්තොටත් හැදුවා. මේක දකුණු පළාතට පමණක් නොවෙයි සබරගමුව පළාතේ ජනතාවගෙත් සුව යහපතටයි හැදුවේ. නමුත් අද රෝහලට මොනවද වෙලා තියෙන්නේ. ඒකෙ තිබුණු අති නවීන උපකරණ අද එතැන නැහැ. ඒවාට මොනවා වුණාද කියලා දන්නෙත් නැහැ. ඒ ගොඩනැඟිල්ලත් චීන ජාතිකයන්ට නේවාසිකාගාරයක් හැටියට පවරා දෙන්න තීරණය කරලා ඇති බවත් ආරංචි මාර්ග කියනවා. හැබැයි මේ වගේ සම්පත් මේ ප්‍රදේශයෙන් අහිමි කරන කොට දැනට මේ දිස්ත්‍රික්කයේ ඉන්න යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු ඇස්, කන් පියාගෙන ඉන්නවා.

ඔවුන් හිතනවා ඇති මේවා කළාම මහින්ද රාජපක්ෂගෙන් පළිගන්න පුළුවන් කියලා. නමුත් මේවා මහින්ද රජපක්ෂගෙ හෝ රාජපක්ෂ පරපුරේ පෞද්ගලික දේපළ නොවේ.

තිස්සමහාරාම - රංජිත් මාදල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon