ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික පිළිවෙත නිසා රට පෙරට රැගෙන යෑමට නොහැකි වෙලා

  👤  3814 readers have read this article !
By mawbima 2018-01-12

රටේ ආර්ථිකය ඉදිරියට ගෙනගිය නොහැකි තත්ත්වයක් වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික පිළිවෙත නිසා සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.
"මහ දවල් සිදුවූ මහ බැංකුවේ මහ මුදල් කොල්ලය පාඩුව කීයද..? පාඩුව කාටද?" මැයෙන් පැවැති සම්මන්ත්‍රණයකදීය. එය තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී 09 වැනිදා පැවැති එම සම්මේලනය ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් සංවිධාන කොට තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මෙසේද පැවැසීය.

බැඳුම්කර ගනුදෙනුවෙන් කවරාකාරයේ අලාභයක් වූවාද යන්න ගණනය කිරීම ශාස්ත්‍රීය පදනමකින් කළ යුතු බව බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවන් 70න් එක් අයකු ලෙස මම කොමිසමෙන් ඉල්ලා සිටියා.
සියයට 9.3ට තිබූ පොලී අනුපාත 12.5 ඉහළ දැමීම නිසා 2015 දෙසැම්බර් 31 වනවිට සිදුවූ අලාභය රුපියල් බිලියන 144.5ක් ලෙස ආර්ථික විශේෂඥයන් සොයාගෙන තිබෙනවා.

මේ ප්‍රශ්නය නිසා විදේශ ආයෝජකයො එම මුදල් රැගෙන ගියා. එම මුදල ඩොලර් බිලියන 2.4ක් ලෙස ගණන් බලා තිබෙනවා. මහ බැංකු වාර්තා මඟින් එය හෙළිවෙනවා. ඒ අනුව ඩොලර් ආපසු රැගෙන යෑම නිසා රුපියල් බිලියන 360ක අලාභයක් සිදුවෙලා.
කොටස් වෙළෙඳ පොළටත් මේ තත්ත්වය බලපෑවා. කොටස් වෙළෙඳ පොළේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 359කින් අඩුවී තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය අනුපාතයට විශාල බලපෑමක් වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට භාර ගන්නා විට ඩොලරයට ගෙවූ මුදල රුපියල් 101යි. දස වසරකට පසු රුපියල් 131 දක්වා වැඩි වුණා. නමුත් බැඳුම්කර වංචාවෙන් පසුව රුපියලේ අගය 155 දක්වා වැඩිවී රුපියල කඩා වැටී තිබෙනවා. රුපියල කඩා වැටෙන විට ණය පැටව් ගසන බව ආර්ථිකයේ න්‍යායක්.
ඒ අනුව නොපියවා තිබෙන විදේශ ණයවලට වැඩිපුර රුපියල් ගෙවීමට සිදුවෙනවා. මහ බැංකු වාර්තාවට අනුව 2015දී රුපියල් බිලියන 285.1කින් ණය බර වැඩි වෙලා. 2016 දි 186.6කින් වැඩි වුණා. 2017 ප්‍රමාණය තවම ගණනය කර නැහැ. මේ කරුණු සලකන විට ගෙවී ගිය වර්ෂ 3ට රුපියල බාල්දු වීමෙන් රුපියල් බිලියන 571කින් විතර ණය බර වැඩිවී තිබෙනවා.

රුපියල කඩාවැටීම නතර කිරීමට 2015දී ඩොලර් බිලියන 1.9ක් යොදවා තිබෙනවා. මේ මුදල් තිබුණා නම් හම්බන්තොට වරාය විකුණන්න අවශ්‍ය නැහැ. වරාය විකිණීමෙන් ලබා ගත්තෙ ඩොලර් බිලියන 1.4ක් පමණයි. 2016දි ඩොලර් බිලියන 1ක් වෙළෙඳ පොළට දැම්මා. මේ නිසා අවම වශයෙන් රුපියල් බිලියන 450ක පාඩුවක් සිදුවෙලා.
එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ණය පොලී අනුපාතය මහින්ද රාජපක්ෂ යුගයට වඩා 100%කින් ඉහළ ගියා. සියයට 9.05ට තිබූ පොලී අනුපාත 17% - 25% දක්වා වැඩි වෙලා. මේ නිසා අවුරුදු 2ට ලංකා ආණ්ඩුවට බිලියන 289ක පාඩුවක් සිදුවී තිබෙනවා. ජනතාවටත් මේක දැඩිව බලපානවා. ජනතාව ණය බරින් සියදිවි නසා ගන්නවා.
මේ අනුව බලන විට සිදුවූ මුළු අලාභය රුපියල් බිලියන 1933ක් වෙනවා.
අද ලෝකයේ ආයෝජන අවදානම් රටවල් අතර ශ්‍රී ලංකාව මුල් පෙළට පැමිණ තිබෙනවා. ලංකාව දිහා ආයෝජකයන් නොබලන තත්ත්වයට පත්වෙලා. ලෝකයේ දූෂිතම රටවල් 4න් එකක් බවට ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව නම් කළා.
මහ බැංකු වාර්තාව අනුව 2014 දි රට සල්ලිවලින් ලබාගත් දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 20.4යි. එම මුදල 2015 වනවිට රුපියල් බිලියන 222.4 දක්වා වැඩි වුණා. වැඩිවීමේ අනුපාතය 1010%ක් තරම් විශාලයි.
රජයට ණය ලබාගත හැකි සීමාව දළ දේශීය නිෂ්පාදනයෙන් 80%ක් දක්වා පමණයි. ඒත් එය 83.3 දක්වා දැරිය නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව විගණකාධිපති වාර්තා කරනවා. රටට දැරිය නොහැකි තත්ත්වයට ආර්ථිකය කඩා වැටිලා.
ආචාර්ය නාලක ගොඩහේවා
බැඳුම්කර නිකුතුවෙන් සිදුවූ අලාභය මහජනතාවගෙන් බදු ලෙස අය කර ගත යුතුව තිබෙනවා. 2014 රජයේ සමස්ත බදු ආදායම රුපියල් ටි්‍රලියනයක් හෙවත් බිලියන දහසයි. එපමණ මුදලක් පාඩු වූ බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා ප්‍රකාශ කොට තිබෙනවා. රජය ආදායම වැඩි කරගන්නව කියලා ආණ්ඩුව කයිවාරු ගහනවා. 2018 දී රුපියල් ටි්‍රලියන 2ක් බදු අයකර ගන්නා බව රජය කියනවා. ඒ කියන්නෙ බදු ගහන ප්‍රමාණය වැඩි කිරීමයි. වෙනස සැපද කියලා දැන් අපට අහන්න පුළුවන්.
ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
2008 - 2015 අතර කාලයේ බැඳුම්කර විකිණීම් පිළිබඳ විමර්ශනයක් කරන්න කියල බැඳුම්කර කොමිසම නිර්දේශ කොට තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒත් එවැන්නක් කියන්න තරම් කොමිසමට එවැනි බලයක් නැහැ.

මහ බැංකුව කියන්නේ මුදල් අවශ්‍යතාව රුපියල් බිලියන එකක් පමණක් බවයි. ඒත් එජාපයේ මහ ලේකම්, උප නායක හා සභාපති එකතු වී බිලියන 10ක් 12.5% වැඩි පොලියට ගැනීමට තීන්දුවක් ගෙන තිබුණා. මේක එජාපයේ තක්කඩි වැඩක්.
මේ සම්බන්ධව නඩු පැවරීමට පවතින නීතිය ප්‍රමාණවත්. අල්ලස් නීතිය යටතෙත්, පොදු දේපළ නීතිය යටතෙත් නඩු පවරා දඬුවම් පැමිණවිය හැකියි. ඒත් නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිතුමාගේ බලය යටතේ තිබෙන තුරු ඒක සිද්ධ වේ යැයි විශ්වාස කරන්න බැහැ.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon