නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ජනමතය විමසනවා

  👤  3533 readers have read this article !
By mawbima 2018-01-12

යහපාලන ආණ්ඩුවේ මූලික කාර්යයක් බවට පත්ව තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඉදිරි පියවර පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසුව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ යොවුන් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හමුවේ පොරොන්දු විය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී රටේ ඒකීයභාවයට සහ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම කෙරේ අවධානය යොමුකරන බවත් රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා වන පරිදි පළාත් සභාවලට බලය වැඩි කර දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා සහ යොවුන් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් අතර විශේෂ හමුවක් අරලියගහ මැඳුරේදී පැවැත්විණි.

එහිදී යොවුන් පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයෙක් විධායකය අහෝසි කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව යහපාලන ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

මුළු පාර්ලිමේන්තුවම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස පත් කර මේ සම්බන්ධව මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව දින 05ක් තිස්සේ පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කළා. බලය බෙදා හැරීම, විධායක අහෝසි කිරීම, මූලික අයිතිවාසිකම් ආදී සියල්ලම ගැන මෙම මැතිවරණයෙන් පසුව නැවැත අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනමතයත් ඉතාම අවශ්‍යයි.
ඒ වාගේම මේ පිළිබඳව බෞද්ධාගමික ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සෙසු ආගමික නායකයන්, වෘත්තීය සමිති සහ යොවුන් පාර්ලිමේන්තුවේ ඔබ සමඟත් සාකච්ඡා කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා යැයි අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

මෙම අවස්ථාවට සහභාගි වූ අනෙකුත් යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් බුද්ධිගලනය, මත්ද්‍රව්‍ය පාලනය, විදේශ රැකියාවන්හි නියුතු වූවන්ගේ ඡන්දවල අයිතිය, සමාජ ජාලා නියාමනය, තරුණ තරුණියන්ට දේශපාලනය පිළිබඳව විධිමත් පුහුණුවක් ලබාදීම, බෝ නොවන රෝග පාලනය, ක්‍රීඩා අංශය දියුණු කිරීම ආදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර අගමැතිවරයා ඊට පිළිතුරු ලබාදීම සිදුකෙරිණි.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon