විභාග රාජකාරිවල යෙදෙන ගුරුවරුන්ගේ දීමනා වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ගේනවා

  👤  3684 readers have read this article !
By mawbima 2018-01-12

සවනි ශේශාධි

විභාග රාජකාරිවල නිරතවන ගුරුවරුන්ට ගෙවන දීමනා ඉදිරියේදී ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
එළැඹෙන වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වීම, උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම ආදී සියලු කටයුතු දෙසැම්බර් මාසයේදීම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.
2018 වර්ෂය සඳහා වූ පෙළ පොත් බෙදා දීමේ ජාතික මහෝත්සවය ඊයේ (11දා) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පැවැති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"වෙන කවරදාකවත් නැති විදිහට අපි පාසල්වලට මානව සහ භෞතික සම්පත් ලබා දෙනවා. "ළඟම පාසල හො¼දම පාසල" සංකල්පය යටතේ පාසල් දස දහසකින්, නව දහසකට වඩා වැඩි ප්‍රමාණයකට මොනවා හෝ ආයෝජනයකට, කුමක් හෝ ව්‍යාපෘතියකට අතිවිශාල ප්‍රමාණයක් මුදල් ප්‍රතිපාදන ලෙස වෙන් කරලා තියෙනවා.
මේ වසර තුන ඇතුළත අපිට පුළුවන් වුණා පාසල් පද්ධතිය ඇතුළේ විශාල වැඩ කොටසක් කරන්න. "ළඟම පාසල හොඳම පාසල" යටතේ ව්‍යාපෘති දස දහසක් පමණ සිදු කරලා තියෙනවා සහ කරගෙන යනවා. වැසිකිළි කැසිකිළි විතරක් විසි හයදහසක් පමණ හදලා තියෙනවා.

අපේ රටේ පාසල්වලින් සියයට හැටක පමණ ප්‍රමාණයකට විතරයි විදුලිය තිබුණෙත්. මේ වනවිට පාසල්වලින් සියයට අසූ අටකට පමණ විදුලිය තියෙනවා. අපි පාසල්වල යම් යම් පරිපාලන කටයුතු වෙනුවෙන් මුදල් දෙන්නත් පටන් ගත්තා. අධ්‍යාපනය විධිමත් කරන්න අවශ්‍ය කටයුතු කළා. චක්‍රලේඛ හරහා අනවශ්‍ය විදිහට තොග පිටින් පාසල්වලට ළමයි ඇතුළත් කරන එක අවම කළා. අද ඕනම කෙනෙක් පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව පිළිගන්නවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිද්ධ වෙමින් පවතිනවා කියලා. අපි විෂය මාලා වෙනස් කිරීම ආරම්භ කරලා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගය සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. දෙසැම්බර් නිවාඩුවෙන් පස්සේ උත්තර පත්‍ර සලකුණු කරන්න සෑහෙන ගුරුවරුන් පිරිසක් වෙන් වෙනවා. එවැනි ප්‍රායෝගික ගැටලු නිසා අපි එන වසරේ සිට දෙසැම්බර් මුල සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරලා මැදහරිය වෙද්දී අවසන් කරලා දෙසැම්බර් නිවාඩුව අවසන් වෙනකොට උත්තර පත්‍ර සියල්ලම බලලා නිම කරන්න තීරණය කරලා තියෙනවා. ඉන් පසුව කිසිම පාසලක් දෙසැම්බර් නිවාඩුවෙන් පස්සේ විභාග කටයුතු සඳහා යොදා ගන්නේ නැහැ. නිවාඩුව අවසන් වුණත් තිස් පන්දහසක් පමණ ගුරුවරුන් තවමත් විභාග රාජකාරිවල යෙදිලා ඉන්නවා. දෙසැම්බර් නිවාඩුවේදී සාමාන්‍ය පෙළ විභාගය පවත්වලා උත්තර පත්‍ර පරීක්‍ෂා කරලා පුළුවන් තරම් ඉක්මනට ප්‍රතිඵල දෙන්න බලාපොරොත්තු වෙනවා. එන වසරේ සිට අපි ඒ කටයුතු ආරම්භ කරනවා. ප්‍රශ්න පත්‍ර බලන අයට කරන ගෙවීම් වැඩි කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. උත්තර පත්‍ර බලන ප්‍රමාණය තීරණය කරන්න කියලා අපි දැනුම් දීලා තියෙන්නේ. එහෙම නැතුව එක්කෙනෙක් සීමාවක් නැතුව එක දිගට උත්තර පත්‍ර බලාගෙන ගියොත් ඒක විභාගයට ලියපු දරුවන්ට කරන අසාධාරණයක්. විභාග රාජකාරිවල යෙදෙන ගුරුවරුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා."

ඡායා- වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon