මයික්‍රෆෝන-කැමරා ඉදිරිපිට කතා කරලා ඇති වැඩක් නැහැ

  👤  3380 readers have read this article !
By mawbima 2018-01-12

ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙන්න ඕන කියන මතය මම ප්‍රසිද්ධ වේදිකාවල කියන්න හිතාගත්තේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව පළමු නිවේදනය කළ අවස්ථාවේ. මෙහෙම හිතපු සහ හිතන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කෙනෙක් වීම ගැන මට සතුටුයි. ඒ ප්‍රකාශය මම වේදිකාවේ කියා සිටිය නිසා ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙවෙයි එම පක්ෂයට අදාළ නැති "වෙනසක ඇරඹුම" සංවිධානයත් මට කතා කළා දේශනයකට, දූෂණයෙන් තොර ගමක් ගැන අදහස් දැක්වීමට. මම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටින්නේ දූෂණයෙන් තොර ගමක් බලාපොරොත්තුවෙන්.

මහජනතාවට මා ආමන්ත්‍රණය කළා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබාදෙන්න කියලා අවස්ථා කීපයකදී. ඒ වගේම 2011 පළාත් පාලන මැතිවරණයෙත් මා විසින් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන්න යැයි ඉල්ලා සිටියා. නමුත් එදත් අදත් මම එම පක්ෂයේ සාමාජිකයකු මෙන්ම කිසිම පක්ෂයක පාක්ෂිකයකුත් නෙවෙයි.
අද මේ රටේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් මත කැඩිල ඉවරයි. ඒ කියන්නේ අද පක්ෂවලට වඩා පුද්ගලයන් උඩට ඇවිත්. ඒවාට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන වගේ අය මූලික වෙලා ඉවරයි.

ඔය සියලුම පක්ෂත් පුද්ගලයනුත් අයත් වන්නේ ප්‍රභූ තන්ත්‍ර දේශපාලනයට. ඔවුන් සියල්ලෝම අත්‍යන්තයෙන්ම දූෂිත බව අද හැමෝම දන්නවා. ඒ දූෂිත පක්ෂවල හා මිනිසුන්ගේ දූෂිත බව පෙන්වා දෙන ආචාර ධර්මික දේශපාලනික දර්පණය ලෙස අපට ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්න පුළුවන්. මොකද ඔවුන්ට එහෙම චෝදනා කිසිවිටෙක එල්ල වෙලා නැහැ. මුළු මහත් සමාජයම ජනතා විමුක්ති පෙරමුණ දූෂිත නැහැ කියල කියද්දි ඔවුන්ට කවදාවත් දූෂිත වෙන්නත් බැහැ.

අන්න ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායකයන්ට මම කිව්වා මයික්‍රෆෝන සහ කැමරා ඉදිරිපිට කතා කරන එක නෙවෙයි මෙවර මැතිවරණයෙදි කළ යුත්තේ කියලා. කළ යුත්තේ ගම් මට්ටමින් හා ගෙයින් ගෙට ගොස් මහජනතාවට කතා කරලා මේ පණිවුඩය ලබාදීමයි. ඒ වගේම මම එම සංවාදය ගමට ගොස් අරඹා ඇති බවත් සඳහන් කළා.
එදා සුගතදාස ක්‍රීඩාංගණයේ ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවේදී ගරු ගාම්භීරව ප්‍රතිඥාවක් දුන්නා. දූෂණ, වංචා, හොරකම් නොකරන බවට. නමුත් ඊට පස්සේ, ඒ විදියටම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පක්ෂයත්, මහින්ද රාජපක්ෂගේ අයත්, ඒ වැඩේම කළා. ඒ සිදුවීම බලා සිටින අයට ඒක මහා විහිළුවක් වුණා. හරියට විකට නාට්‍යයක් වගේ. සමහරු පපුවට අත තියාගෙන වටපිට බැලුවා. පියසේන ගමගේ හොඳටම බයවෙලා පිටිපස්ස බැලුවා. ඒ හිතේ තියෙනවා සැකයක් මේක දැකලා කවුරුහරි හිනාවෙයි කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණට ඒ බය නැහැ.
මෙම මැතිවරණ ක්‍රමය තුළ ප්‍රගතිශීලී වෙනසක් තියෙනවා. ස්ත්‍රී ප්‍රතිශතය වැඩිවීම හොඳයි. නමුත් ගැටලුව අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම. ඊට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. මෙය ප්‍රායෝගිකව විශාල ප්‍රශ්නයක්. ඒ කෙසේ වෙතත් 25%ක් ස්ත්‍රී නියෝජනය කිරීම ඉතා වැදගත්. ඒත් ගැටලුව මෙම නියෝජනය ප්‍රධාන පක්ෂවලින් සැරසිල්ලක් විදිහට භාවිත කරනවා. නමුත් ස්ත්‍රීන් දේශපාලන සැරසිල්ලක් ලෙස භාවිත කිරීම වැරැදියි. ඔවුන් දේශපාලන සැරසිලි නෙවෙයි.
ඒ වගේම පළාත් පාලන මැතිවරණය කියන සිංහල යෙදුමත් ඇත්ත වශයෙන්ම අර දූෂිතයන්ටම ගැළපෙන යෙදුමක්. නමුත් ඉංග්‍රීසි යෙදුම ඊට වඩා ප්‍රබලයි. ඒ ඹ්ධජචත ට්ධමඥපථඥදබ යන යෙදුම. පළාත් පාලන කිව්ව ගමන්ම එහි අර්ථය වැහෙනවා. ප්‍රාදේශීය ආණ්ඩුකරණය යන්න මෙහි අදහසක් තියෙනවා. ගමෙහි මිනිසුන් ඉන්න තැන, දේශපාලනය ක්‍රියාවට ගැනීම, භාවිත කිරීම, බලය ශක්තිය උරගා බැලීමක් යන්න මෙහි අදහසයි.
නමුත් මෙතෙක් වුණේ කොළඹ ඉන්න ලොකු දූෂිතයන්ගේම පොඩි දූෂිතයන් ඉන්න තැනක් ලෙස පළාත් පාලන ආයතන තිබුණු එකයි. මෙහි කිසිම කෙනෙක් රට හදන්න ජනතාවට ආදරෙන් එන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ සෙසු පක්ෂ වගේ හොරු නිර්මාණය කරන්නේ නැහැ. ඔවුන්ට පක්ෂය ඇතුළේ විනයක් තියෙනවා. එමෙන්ම කාලයක් තිස්සේ රැකගෙන ආපු සංස්කෘතියක් තියෙනවා. කොන්ත්‍රාත් ගැනීම, කොමිස් ගැසීම වගේ අදහස් ඔවුන් ළඟ නැහැ. රට ගැන මිසක් වෙන අදහස් නැහැ. ඒ නිසයි ජීවිත කාලයටම කැපවුණු මිනිසුන් ඔවුන් ළඟ ඉන්නේ. අනිත් පක්ෂවල ඉන්නේ මුදල් අරමුණු මත ඉන්න අය පමණයි.
ඒ පක්ෂ හා දේශපාලනඥයන් හදනවට වඩා අපට පහසුයි අලුත්ම දේශපාලන සංස්කෘතියක් බිහි කරන එක. 77 පස්සේ රට පාලනය කළ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය අතිශයින්ම දූෂිතයි. ඊට කලින් හිටිය අය දූෂිත නොවුණට රට ගැන අදහසක් තිබ්බේ නැහැ.

අනෙක් කාරණය මේ දූෂිත දේශපාලකයන්ගේ දුවා, පුතාලා, බෑනලා, මස්සිනාලා හැදී වැඩෙන්නෙම හොරුන්ගේ සංස්කෘතිය තුළ නිසා ඔවුන් උපතින්ම දූෂිත බව අනුර කුමාර සහෝදරයත් කියලා තියෙනවා. ඔවුන් ඉතාමත් පහත්, අබුද්ධික, අශීලාචාර පිරිසක්. එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගෙන ආවත් ඔවුන්ට බුද්ධියක් නැහැ.
ඒ ඉගෙන ගන්න වියදම් කළ මුදල් මවුපියන් හොරකම් කරපු මුදලින් වීම නිසා ඔවුන් ඇවිත් කතා කරන්නේම කිසි ශිෂ්ට බවක් නැතිව. නමුත් 77ට පෙර හිටපු ඇන්.ඇම්. පෙරේරා වගේ අය එහෙම නෑ. ඔවුන් බුද්ධිමත්. රට ගැන හැඟීමක් තිබුණා. නමුත් දේශපාලනඥයන්ගේ පුතාලා, කතා කරනකොට ඇහෙන්නේ චණ්ඩි, මජර, අබුද්ධික, ව්‍යාජ කටහඬවල්. අන්න ඒ නිසා මෙම දේශපාලන ප්‍රභූ තන්ත්‍රයම විතැන් කළ යුතුයි.

මෙම විතැන් කිරීම කැමරා, මයික් ඉදිරිපිට පමණක් කිරීමට බැහැ. සමාජ ජාලවලින් පමණක් කරන්නත් බැහැ. ඒක දීර්ඝ ගමනක්. මහජනයා මුහුණට මුහුණ මුණගැසෙන සංස්කෘතියක් හදන්න ඕන. අපි ඊට මූලික විය යුතුයි. මේ වෙලාවේ මේ ක්‍රියාව අතට ගත යුතුමයි. අනික මේ දූෂිත පක්ෂ විසින්ම දූෂණය කියන එක මිනිසුන්ගේ විඥානය තුළම ස්භාවිකකරණය කරලා ඉවරයි පොඩි හොරකමක් කළාට කමක් නැහැ කියලා.
අපි මේ දූෂණය සම්පූර්ණයෙන්ම වැළැක්විය යුතුයි. ඒ නිසා දූෂණ විරෝධී සටන් සමඟ එකතු විය යුතුයි. අනික දූෂණ විරෝධී සටන් විශාල කර ගැනීමත් අවශ්‍යයි.
ඒ වගේම අපේ ජීවිතයට අර්ථයක් හදාගත යුතුයි. ඒ වගේම අපේ අරමුණ ගැනත් හිතන්න ඕන.
අවුරුදු 70ක් පාලනය කළ පක්ෂ මොනවද කරලා තියෙන්නේ. අද අපට ප්‍රශ්න පමණක් ඉතුරු කරලා තියෙන්නෙ. ඉතිං දූෂණ විරෝධී සටන ගෙනියන්න මෙම ප්‍රශ්න කිහිපයම ඇති.

අද අපිට කැමැති කිසිම දෙයක් සමඟ හැසිරෙන්න, කතා බහ කරන්න, ආදරය කරන්න බැහැ. ඒ වගේම අපට කිසිම අයිතියක් නැහැ. ඉතින් අපි හිතුවට අපට මූල්‍යම දූෂණයක් පමණක් නෙවෙයි මේ පක්ෂ කරලා තියෙන්නේ. අපිට නොදැනෙන්නට අපිව කායිකව, මානසිකව, දූෂණය කරලා. එය අප මෙවර නතර කළ යුතුමයි.
අපි අද ගමට යා යුතුයි. අපට ගමේදී ග්‍රාමීය මිනිසාගේ සුන්දර සිනහව, අව්‍යාජ බව, හොඳකම, සංග්‍රහශීලී බව මුණගැසෙනවා. නමුත් ඒ අතරම මෝඩකමේ අන්තයත් මුණ ගැසෙනවා. ඒ ලේවලින්ම නිල්පාට, කොළ පාට වුණු අය. ඒ ග්‍රාමීය විඥානය අපි බිඳ දැමිය යුතුයි. ඒ නිසයි මම මුලදිත් කිව්වේ ගමට ගිහින් ඔවුන්ට මෙම කාරණාව මුහුණට මුහුණ කතා කරලා තේරුම් කර දිය යුතු බව. ඔවුන්ගෙන් අහන්න ඕන යහපත් ජීවිතයක් දෙන්න බැරි කොළ පාට, නිල්පාට මොකටද කියලා. ආන්න ඒ ප්‍රශ්නය නොඅසා නව දේශපාලන සංස්කෘතිය ගොඩනඟන්න බැහැ. මේ රටේ තියෙන මානසික වහල්භාවය තමයි ඒ පාරම්පරිකව උරුමකරගත් පක්ෂ පාට. එයින් අපි ඔවුන්ව නිදහස් කරගත යුතුයි.
දූෂණයෙන් තොර ගමක්" මැයෙන් වෙනසක ඇරඹුම සංවිධානය කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයේදී පැවැත්වූ දේශනය ඇසුරෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon