බර වාහනයක් බටු ඔය පාලමෙන් පනී

  👤  3317 readers have read this article !
By mawbima 2018-01-12

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

පුත්තලමේ සිට වාලච්චේනට සිල්පර කොටන් ප්‍රවාහනය කර ආපසු එමින් සිටි බර වාහනයක් පෙරේදා (10දා) සවස 1.30ට පමණ මින්නේරිය බටුඔය පාලමේ ගැටී එහි පාලම් ඇන්දත් කඩාගෙන බටු ඔයට කොටසක් පෙරළී යෑමෙන් පොළොන්නරුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම පැය තුනක් පමණ අවහිරව පැවැතිණි.
මේ අනතුරින් එම රථයේ ගමන්ගත් රියැදුරු හා සහායකයන් දෙදෙනාගෙන් එක් අයකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
පොලිසිය පැවැසුවේ මේ වාහනයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව තිරිංග තද කිරීමේදී ලිස්සා ගොස් බටු ඔය පාලමේ යකඩ ඇන්දේ ගැටී එයද කඩාගෙන එන්ජිම කොටස බටුඔයට පෙරළී ටේලරය කොටස මාර්ගය හරහා තිබීම හේතුවෙන් ගමනාගමනය ඇනහිටි බවයි.

පැය තුනක පමණ පරිශ්‍රමයකින් රථයේ පසුපස කොටස මාර්ගයෙන් ඉවත් කොට වාහන ගමනාගමනයට ඉඩකඩ සෑදීමට පොලිසිය විශාල වෙහෙසක් ගත්තේය. මාර්ගයේ ගමනාගමනය අවහිර වීමෙන් පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, මඩකළපුව, කල්මුණේ, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ඇතුළු ඒ 11 මාර්ගයේ පරිහරණය කරන සියලු දෙනා මේ අකරතැබ්බයට මුහුණ දුන්හ. කිලෝමීටර් තුනක් පමණ දෙපසට වාහන දිගු පෝලිමක් දක්නට ලැබිණි. සවස 5.30 පමණ වනවිට ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවිය.

මේ ස්ථානය පටු පාලමක් හේතුවෙන් නිතර අනතුරු සිදුවන ස්ථානයක් බවත් මේ වනවිට මාරාන්තික රිය අනතුරු ගණනාවක්ම සිදුව ඇති බවත් තවමත් මාර්ග සංවර්ධන අධිකාරියේ හෝ වෙනත් වගකිව යුතු ආයතනවල අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් අපහසුවට පත් මගීහු පවසති.
මෙයින් දෙස් - විදෙස් මගීන් විශාල සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon