අනුරාධපුර ස්ථාපිත කළ විශේෂ මහාධිකරණය අහෝසි කරයි

  👤  3540 readers have read this article !
By mawbima 2018-01-12

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

මෙතෙක් කලක් පැවැති අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව අනුරාධපුර විශේෂ මහාධිකරණය ලෙස පැවැති මේ අධිකරණය මින් ඉදිරියට උතුරුමැද පළාත්බද මහාධිකරණ අංක දෙක ලෙස නම් කරනු ලැබ ඇත.
අනුරාධපුර විශේෂ මහාධිකරණය 2014 වසරේ සැප්තැම්බර් මස 24 වැනි දින ස්ථාපිත කෙළේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නඩු සහ ළමා අපයෝජන සිද්ධිවලට අදාළ නඩු පමණක් විභාග කිරීම සඳහාය.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට කොටි ත්‍රස්තවාදීන් ගුවනින් හා ගොඩබිමින් එකවර ප්‍රහාර එල්ල කර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 10ක් සම්පූර්ණයෙන්ම විනාශ කර තවත් ගුවන් යානා 6ක් අර්ධ වශයෙන් විනාශ කර ආරක්ෂක අංශ සාමාජිකයන් 14 දෙනකුද මරණයට පත් කර රුපියල් කෝටි හාර සියයක පමණ දේපළ අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුව සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 32 දෙනකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාග වන්නේ මේ මහාධිකරණයේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකට කොටි ත්‍රස්තවාදීන් විසින් විල්පත්තුව වනයේ සිට මිසයිල ගසා එම යානය විනාශ කර ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 37 දෙනකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව, ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ සේනා විධායක කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනකුට විල්පත්තුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඇතුළු දෙස් - විදෙස් වශයෙන් ආන්දෝලනයට තුඩු දුන් ත්‍රස්ත ප්‍රහාර 15ට අදාළ විශේෂ නඩු සියල්ල විභාගයට ගැනෙන්නේ මේ විශේෂ මහාධිකරණයේ වීම විශේෂත්වයකි.

අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීම සම්බන්ධයෙන් 'මව්බිම' දුරකතනයෙන් කළ විමසුමකදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජේ‍යෂ්ඨ නිලධාරියකු සඳහන් කෙළේ අනුරාධපුර විශේෂ මහාධිකරණය යන නාමය පමණක් වෙනස් කළ බවයි.

ඒ වෙනුවට උතුරුමැද පළාත්බද මහාධිකරණ අංක දෙක ලෙස එම මහාධිකරණය නම් කළ බවද කියා සිටි එම නිලධාරියා මෙතෙක් විභාගයට ගැනුණු ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සහ ළමා අපයෝජන සිද්ධිවලට අදාළ සියලු නඩු උතුරුමැද පළාත්බද මහාධිකරණ අංක දෙක ලෙස නම් කළ මේ නව මහාධිකරණයේ එලෙසම අඛණ්ඩව විභාගයට ගැනෙන බවද ඔහු කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon