ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසූ මන්ත්‍රින්ට පැමිණීමේ දීමනාව ගෙවන්න එපා

  👤  3773 readers have read this article !
By mawbima 2018-01-12

පාර්ලිමේන්තුව යනු මන්ත්‍රිවරුන්ගේ අතේ පයේ හිරි ඇරගැනීමට ඇති ස්ථානයක් නොවන බවත් පෙරේදා ජනවරමට හා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසූ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එදින ගෙවීමට නියමිත පැමිණීමේ දීමනාව නොගෙවන ලෙස ඉල්ලා සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

බැඳුම්කර විමර්ශන වාර්තාව මූලික කරගෙන පෙරේදා (10දා) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මැති ඇමැතිවරුන් විසින් තමන්ට ලබාදුන් ජනවරමට හා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් කටයුතු කරන ආකාරය දැක බලා ගැනීමට හැකිවූ බවත් විශේෂයෙන්ම මෙහිදී එක් පාර්ශ්වයක් අගමැතිතුමා මෙහෙය වූ බව "මම කෑගහනකොට ඕගොල්ලොත් කෑගහන්න" යන ප්‍රකාශයෙන් තහවුරු වන බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

අවසානයේදී සිදුවූයේ ජනතාවගේ මුදල් නිකරුණේ වියදම් වීම පමණක් වන අතර රජය තම නියෝජිතයන්ට ජනතා මුදල් නිකරුණේ නාස්ති කිරීමට ඉඩදී පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩ අධික මිලකට මිලදී ගැනීමට සලස්වා තිබීම කනගාටුදායක බවත් පවසන ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එදිනට ගෙවීමට නියමිත පැමිණීමේ දීමනාව නොගෙවන ලෙසද පාර්ලිමේන්තුව රැස්කිරීම සඳහා එදින වැය වූ සම්පූර්ණ මුදල එම මන්ත්‍රිවරුන්ගෙන් අය කර ගන්නා ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටී.
උත්තරීතර ස්ථානයක් වන පාර්ලිමේන්තුව මන්ත්‍රිවරුන්ගේ අතේ පයේ හිරි ඇර ගැනීමට ඇති ස්ථානයක් නොවන බව උගත් හා නූගත් සියලු මන්ත්‍රිවරුන්ට කියා දෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය ලිපිය මඟින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon