රාජකාරියේ සිටි රාළහාමිලාට දැඩි විනය පියවර

  👤  3456 readers have read this article !
By mawbima 2018-01-12

පිටකොටුව පොලිසියේ සිර මැදිරිය තුළදී සැකකරුවකු ඊයේ (11දා) අලුයම ගෙල වැලලාගෙන මියයෑමේ සිද්ධියට අදාළව එම අවස්ථාවේ පොලිස් ස්ථානය තුළ රාජකාරි කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කර තිබේ.
එසේම මෙහි විමර්ශන කටයුතු පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වෙත පොලිස්පතිවරයා විසින් පවරා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කුමුදු ලක්මාල් ජයසේකර නමැති තරුණයෙකි.
පිටකොටුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ඊයේ අලුයම පිටකොටුව පොලිස් වසමේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා අතර මියගිය තරුණයාද සිටි බව පොලිසිය කියයි.

අලුයම 2.25ට පමණ මියගිය තරුණයා පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුමේදී කේරළ ගංජා ග්‍රෑම් පනහක් සමඟ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර තරුණයා සමඟ තවත් සැකකරුවන් අටදෙනකු සිර මැදිරියේ රඳවා තබා ඇති අතර ඒ වනවිට අලුයම 2.55ට පමණ ඇති බව පොලිසිය කියයි.
අලුයම 3.55ට සැකකාර තරුණයා සිර මැදිරියේ එල්ලෙමින් සිටියදී පොලිස් නිලධාරියකු දැක අනෙකුත් නිලධාරීන් සමඟ වහා ක්‍රියාත්මක වී තරුණයා ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon