විරෝධතා ගොනුකිරීම අදින් ඉවරයි

  👤  3863 readers have read this article !
By mawbima 2018-01-12

කමල් මහේන්ද්‍ර වීරරත්න

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධුරයේ නිල කාලසීමාව වසර 05කට සීමා වී ඇතත් නව සංශෝධනයට පෙර පත්වූ තමා හට එම කාල සීමාව ඉක්මවා වසර 06ම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ව්‍යවස්ථාමය වශයෙන්...යම් බාධාවක් පවතින්නේදැයි යන්න සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසමින් මෛත්‍රිපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයාට යොමුකර තිබූ විශේෂ විමර්ශන අයැදුම ඊයේ (11දා) පංච පුද්ගල විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනිණි.
මෙම කටයුත්ත සඳහාම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් තමාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කරන ලද එම විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ හා කේ. ටී. චිත්‍රසිරි යන ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුගෙන් සමන්විත විය.

මෙම විමර්ශන අයදුම්පතෙහි විභාගය අවසන් කළ අගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය, එයට සහභාගි වූ නීතිපතිවරයාද ඇතුළු සියලු පාර්ශ්වයන්ට දන්වා සිටියේ තම අවසන් ලිඛිත දේශන විද්‍යුත් තැපෑල මඟින් අද (12දා) මධ්‍යහ්නයට පෙර ශේ්‍රෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙසය.
මෙම විශේෂ විමර්ශනයේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා රජය වෙනුවෙන් ප්‍රථමයෙන්ම කරුණු දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතාට වසර 06ම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට නීති ප්‍රතිපාදන ඇති බවට කරුණු ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව මෙම විශේෂ විමර්ශනය සඳහා මැදිහත් පාර්ශ්ව වශයෙන් ඉදිරිපත්ව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාද, මහාචාර්ය තිස්ස විතාරණ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමීන්ද්‍ර ප්‍රනාන්දු මහතාද 'පැෆරල්' සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාද, තමා වෙනුවෙන්ම පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම මහතාද කරුණු දක්වමින් එකහෙළාම කියා සිටියේ නීතිපතිවරයා කුමක් ප්‍රකාශ කර සිටියද ව්‍යවස්ථානුකූලව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය වසර 05 ඉක්මවා එක් දිනක් හෝ වැඩිපුර දීර්ඝ කිරීමට රට තුළ බලාත්මක එකම හා උත්තරීතරම ජීවමාන නීතිය වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදන අනුව කුමන හෝ ඉඩකඩක් නොමැති බවය.

එය තහවුරු කිරීම සඳහා ඔවුන් සියලු දෙනාම පුංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දුන් කරුණු අතර ප්‍රධානතම කරුණ වූයේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසන් වරට එකතු කරන ලද සංශෝධනය වන 19 වැනි සංශෝධනයද ඇතුළුව ව්‍යවස්ථාව පිළිබඳ පූර්ණ විග්‍රහයක යෙදීමේදී 49 (1)(ආ) වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීමට ජනාධිපති ධුරය හා අගමැති ධුරය දරන කුමන හෝ තැනැත්තා යටත් වන බවය.

ඒ අනුව 49(1)(ආ) වගන්තියේ ප්‍රකාශිතව ඇති ආකාරයෙන් සංශෝධිත ව්‍යවස්ථාවේ නියම කොට ඇති ලිඛිත විධිවිධානවලට යටත්ව ක්‍රියා කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාටද සිදුවන බවත්, සංශෝධිත ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05කට සීමා වන බවත්, ඔහු එම ධුරයට පත්වූ දිනයේ සිට ගණනය විය යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාත්, උලපනේ සුමංගල හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතාත් කරුණු දක්වමින් කියා සිටියේ නීතිපතිවරයාගේ වාචකය සමඟ තමන්ද එකඟ වන බවත්, 19 වැනි සංශෝධනය සම්මත වීමට පෙර පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ඊට පෙර පැවැති ඔහු පත්වන අවස්ථාවේ බලාත්මක වූ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය අනුව වසර 06ම ජනාධිපති ධුරය දැරිය හැකි බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon