ජනපතිගේ ‘මත විමසුම’ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද විමර්ශනයට

  👤  3368 readers have read this article !
By mawbima 2018-01-11

කමල් මහේන්ද්‍ර වීරරත්න

රට තුළ බලාත්මකව පවතින වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදන අනුව ජනාධිපති ධුරයේ නිල කාලසීමාව වසර 05කට සීමා වී ඇතත් 2015 ජනවාරි 09 දින එම ධුරයට පත්වූ තමාට...එම කාල සීමාව ඉක්මවා වසර 06ක් සම්පූර්ණ වනතුරු ජනාධිපති ධුරයේ රැඳී සිටීමට යම් බාධාවක් තිබේ දැයි විමසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කළ මත විමසුම අද (11දා) ශේ්‍රෂ්ඨාධිකරණයේදී පංච පුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විමර්ශනය කිරීමට නියමිතය.
අග විනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා තමාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කොට ඇති එම විශේෂ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ.ටී. චිත්‍රසිරි හා සිසිර ද ආබෘෘ යන ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම මත විමසුම ශේ්‍රෂ්ඨාධිකරණයට යොමුකොට ඇත්තේ යම් ව්‍යවස්ථාමය ගැටලුවක් පැන නැඟෙන්නේ නම් ඒ පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා එය ශේ්‍රෂ්ඨාධිකරණයේ විශේෂ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විමර්ශනය කොට අර්ථකථනයක් ලබා ගත යුතු බවට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තියෙන් ජනාධිපතිවරයාට සලසා ඇති නීති ප්‍රතිපාදන යටතේය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ජනාධිපතිවරයාගේ "මත විමසුම" සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කරමින් කරුණු දැක්වීම සඳහා රටේ සමස්ත නීතිඥ ප්‍රජාවටම ඇරයුම් කරමින් අවස්ථාව සලසා දෙන ලද්දේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හරහාය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උදය රොහාන් ද සිල්වා මහතා මේ කරුණ සම්බන්ධයෙන් "මව්බිම"ට ප්‍රකාශ කර සිටියේ අගවිනිසුරුතුමන්ගේ මඟ පෙන්වීම මත ශේ්‍රෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී එම්.එම්. ජයසේකර මහත්මිය විසින් තමාව දැනුවත් කරන ලද බවත් ඒ අනුව සමස්ත සාමාජිකත්වයටම මෙම විමර්ශනයේදී තම අදහස් තනි තනිව හෝ සාමූහිකව ප්‍රකාශ කිරීමට හැකි බවද ඔවුන්ට දන්වා සිටි බවත්ය.
මේ අතර ඊයේ (10දා) දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මෙම විමර්ශනයේදී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මැදිහත්කාර පෙත්සමක්ද ගොනු කරනු ලැබීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon