අලුත්ගම උකස් බඩු කඩයක් මහ දවල් කොල්ල කාලා

  👤  3309 readers have read this article !
By mawbima 2018-01-11

චාමර අමරසූරිය, මතුගම - වසන්ත කුමාර

අලුත්ගම නගරයේ පිහිටි ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානයකට යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එහි සේවකයන්ට පිස්තෝලයක් පෙන්වා මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් තිබේ.

එම මධ්‍යස්ථානයට ඊයේ පෙරවරු 11.15ට පමණ කඩා වැදුණු මෙම නාඳුනන පුද්ගලයන් දෙදෙනා එහි සේවකයන්ට පිස්තෝලයක් පෙන්වා බියගන්වා එහි සේවකයකු ලවා සේප්පුව විවෘත කරගෙන ඇති බවද පොලිසිය පවසයි.

කොල්ලකරුවන් විසින් එම සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් රැගෙන ගොස් ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් "මව්බිම" කළ විමසුමකදී පැවැසීය.
කොල්ල කන ලද රන් භාණ්ඩවල වටිනාකම ඊයේ පස්වරුව වනවිටත් ගණනය කර නොතිබූ බව එම පොලිස් නිලධාරියා කීය.
සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මෙම කොල්ලයට පැමිණි කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ වී තිබේ.
අලුත්ගම පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

ආයතනයේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරා උපකරණද ගලවාගෙන ගොස් ඇති අතර සිද්ධිය පිළිබඳ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් පද්මිණී ආරියරත්න මහත්වරුන්ගේ උපදෙස් අනුව අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon