ලැජ්ජයි

  👤  3810 readers have read this article !
By mawbima 2018-01-11

ඒකාබද්ධ විපක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැද ඊයේ (10දා) හටගත් ගැටුම, යුද පිටියක් බවට පත්වී මන්ත්‍රිවරු පිරිසක් තුවාල ලැබීමෙන් කෙළවර විය.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම පිණිස කතානායකවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුව කැඳවා තිබිණි.
එම වාර්තාව කතානායකවරයා වෙත ලැබී නොතිබීම නිසා එය ගෙන්වා සභාවට ඉදිරිපත් කර විවාද කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රිවරු කතානායකවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියහ.
එම වාර්තාව ලබන 17දා ලබා දෙන බවට ජනාධිපති ලේකම්වරයා විසින් තමා වෙත දැනුම්දී ඇති බව කතානායකවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව රජයේ මුදල්වලට වගකියන ආයතනය නිසා ජනාධිපති ලේකම් හෝ නීතිපති හෝ පාර්ලිමේන්තුවට කැඳවා එම වාර්තාව ලබා ගන්නා ලෙස දිනේෂ් ගුණවර්ධන, අනුර දිසානායක, එම්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරුද රවුෆ් හකීම් ඇමැතිවරයාද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ නැඟී සිටිනවාත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු, බැඳුම්කර හොරු අත්අංඩගුවට ගනු, නීතිය කාටත් සාධාරණ නම් බැඳුම්කර හොරු ඇයි නිදැල්ලේ යනුවෙන් සඳහන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් "රනිල් හොරා" රනිල් හොරා" කියමින් සභාව මැදට පැමිණ ඝෝෂා කරන්නට වූහ.
මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ සිඩ්නි ජයරත්න, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රිවරු සභාව මැදට පැමිණ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ප්‍රදර්ශනය කරමින් සිටි පෝස්ටර් උදුරා ගැනීමට උත්සාහ දැරූහ.

එස්. එම්. මරික්කාර් මන්ත්‍රිවරයා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතරට යමින් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා අත තිබූ පෝස්ටරය උදුරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ලොකුගේ මන්ත්‍රිවරයා ඔහුට පහරක් එල්ල කළේය. එජාප මන්ත්‍රිවරුන් මරික්කාර් මන්ත්‍රිවරයා ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂය දෙසට කැඳවා ගෙන යනු දක්නට ලැබිණි.
මන්ත්‍රිවරුන්ගේ ඝෝෂාව මැද්දේ අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදුකර අවසන් වනවාත් සමඟ "මම කියන කොට ඕගොල්ලෝ කියන්න කියූ අගමැති රනිල් වික්‍රමසිංහ, "කවුද හොරු" "කවුද හොරු" කියද්දී එජාප මන්ත්‍රිවරු "මහින්ද හොරා" "මහින්ද හොරා" කියමින් කෑ ගැසූහ.

කතානායක කරු ජයසූරිය, පක්ෂ නායක රැස්වීමක් කැඳවමින් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටු වූයේ මේ අවස්ථාවේය. සභාවේ කටයුතු අත්හිටුවා කතානායකවරයා අසුනින් නික්ම යනවාත් සමඟම මරික්කාර් මන්ත්‍රිවරයා දිවගෙන විත් එක්වරම ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයාට වැරෙන් පහරක් එල්ල කර කලින් තමාට කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් දුන්නේය.
එතැණින් ඇරැඹුණු පහරදීම, නොනැවතී එජාපයත් ඒකාබද්ධ විපක්ෂයත් අතර ගැටුමක් බවට පත්වෙද්දී චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාද ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා අසලට ගොස් එල්ල කළ ප්‍රහාරයෙන් ලොකුගේ මන්ත්‍රිවරයා ඔහු අසල තිබුණු පුටුව මතට ඇද වැටුණේය.
චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා ආපසු හැරෙද්දී ඔහු වටකරගත් ඒකාබද්ධයේ මන්ත්‍රිවරු ඔහුට පහරදීමට සූදානම් වෙද්දී ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා පිටුපසින් පැමිණ අත දිගහැර චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.
රංජිත් සොයිසා, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රිවරු ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා දෙසට මේස මත තිබුණු පොත් මිටි විසි කරමින් පහර දුන්හ.

විපක්ෂයේ අසුන් අසල පොදිකමින් විජේසිරි මන්ත්‍රිවරයා බේරා ගැනීමට පැමිණි එජාප මන්ත්‍රිවරුද මේස මත තිබූ පොත් ඒකාබද්ධය දෙසට විසිකරමින් ප්‍රහාර එල්ල කළහ.
එසේ එල්ල කළ පොතක් වැදීමෙන් රංජිත් සොයිසා මන්ත්‍රිවරයාගේ කම්මුලට තුවාල සිදුවිය. ඒ අවස්ථාවේ රෝහිණී කවිරත්න මන්ත්‍රිවරියද මන්ත්‍රිවරුන් අතර හිරවී සිටියදී තුසිතා විජේමාන්න මන්ත්‍රිවරිය දිවවිත් ඇය බේරාගෙන පසෙකට කැඳවා ගත්තාය.
ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයාටද ප්‍රහාරයක් එල්ල වූ අතර ඔහුගේ ඇසකට එම ප්‍රහාරය නිසා ඇතිවූ වේදනාවෙන් ඔහු පසුවනු දක්නට ලැබිණි.
ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා ඇඳ සිට කමිසයද ඉරී ගොස් තිබිණි.
විපක්ෂයේ මන්ත්‍රිවරුගේ ආසන අතරේ මෙසේ පහරදීම් සිදු වෙද්දී සභාව මැද සිටි කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා හිටි හැටියේම ක්ලාන්ත වී සෙංකෝලය තබා ඇති මේසය ඉදිරිපිට ඇද වැටුණේය.

එ.ජා.ප. මන්ත්‍රිවරුන් පිරිසක් ජයවර්ධන මන්ත්‍රිවරයා නැඟිට්ටුවා, කැඳවාගෙන ගොස් මන්ත්‍රි ආසනයක හිඳුවා ටික වේලාවකින් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වෛද්‍යවරු ආණ්ඩු පක්ෂයේ ලොබියට කැඳවා ප්‍රතිකාර ලබාදීමෙන් පසු මන්ත්‍රිවරයා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
මේ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, මංගල සමරවීර යන ඇමැතිවරු ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් විපක්ෂයේ මන්ත්‍රි ආසන ඉදිරිපිට සිටි අතර අගමැතිවරයා කිහිපවිටක්ම පහර කෑ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අසලට යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුගේ යෑම වළක්වන අයුරු දිස්විය.
සභාව නැවත රැස්වූ අවස්ථාවේ අගමැතිවරයා කලින් කළ ප්‍රකාශය නැවත ප්‍රකාශය කිරීමට සූදානම් වූ අවස්ථාවේ නැවත සභාවේ ඝෝෂාවක් ඇති විය.
බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා අගමැතිවරයා නැවත ප්‍රකාශය කිරීමට විරෝධය පළ කරමින් "අගමැතිවරයා එක්වරක් කළ ප්‍රකාශය නැවතත් කිරීම නවත්වන්න. මේක මහ විහිළුවක්" යැයි පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon