පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් අටවාගෙන මේ හදන්නේ යළිත් බණ්ඩාරනායකයන් ඝාතනය කිරීමටයි

  👤  3391 readers have read this article !
By mawbima 2018-01-11

වර්ෂ1959දී බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කිරීම මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයන්ට තැබූ වෙඩිල්ලක් බවත්, අද ශ්‍රීලනිපයේම පිරිසක් පොදුජන පෙරමුණ නමින් අලුත් දේශපාලන පක්ෂයක් අටවාගෙන අපේ පක්ෂයේ නිල් පාටද යොදා ගනිමින් සිදු කරන්නේ දෙවැනි බණ්ඩාරනායක ඝාතනය බවත් ශ්‍රීලනිපයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන චෝදනා කරයි.

ශ්‍රීලනිප නායකයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඊයේ (10දා) පැවැති ශ්‍රීලනිපය ප්‍රමුඛව එජනිසයේ මංගල මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් හා ප්‍රදේශවාසී ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රීලනිපයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රචාරක රැලිය සංවිධානය කර තිබිණි.
මෙම රැලියට සහභාගි වීමට පෙරාතුව ජනාධිපතිවරයා ඇතුළු පක්ෂයේ දේශපාලනඥයන් රැසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අනුරපුර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්හ.

කටවුට්, පෝස්ටර් ආදියෙන් තොරව පැවැති මෙම ප්‍රචාරක රැලියට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වී සිටි අයුරු දක්නට ලැබිණි.පස්වරු 4.20ට පමණ ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පැමිණ සිටි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ ජයඝෝෂා මධ්‍යයේ වේදිකාවට පිවිසුණේය.
මෙහිදී 'අපේ ගම අපි හදමු' මැයෙන් නම් කළ ශ්‍රීලනිපයේ හා එජනිසයේ දස අවුරුදු සැලැස්ම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක විසින් ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වනු ලැබීය. ශ්‍රීලනිපයේ ජේ‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එජනිසයේ මහලේකම් මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් ප්‍රමුඛව පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනඥයන් රැසක් සහ සංවිධායකයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
එහිදී රැලිය ඇමැතූ ශ්‍රීලනිප නායකයා,

"අවුරුදු 40කට වැඩිය කාලයක් මට හොඳට හුරුපුරුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ සිට මට හුරුපුරුදු ජනතාව අමතන්න ලැබීම සතුටක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනුරාධපුරයත් අතර එකට බැඳුනු ඉතිහාසයක් තිබෙනවා. ඒ වගේම තමයි වසර දහස් ගණනක මේ රටේ ශේ‍ර්ෂ්ඨ ඉතිහාසගත කතාවේ රටේ ආර්ථික සමෘද්ධිය ශාස්ත්‍රීය දියුණුව විශිෂ්ට ජයග්‍රහණ සියල්ල සමඟ ඉතිහාසයේ රට ජයගත් ලෝකය ජයගත් අනුරාධපුර යුගය සිහිපත් කරමින් අදත් ඔබත් ඓතිහාසික ජයග්‍රහණයක් කරා යන ගමනේදී ඔබත් මාත් හමුවෙනවා.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා වගේ අලුත් පක්ෂයක් නිර්මාණය කරලා කෙටි කාලයක් තුළ රාජ්‍ය බලාගැනීමට මේ රටේ ඉතිහාසයේ කිසිදු දේශපාලන නායකයකුට හැකිවුණේ නැහැ. බණ්ඩාරනායක මහත්මයාගේ නායකත්වයෙන් 1956 ආණ්ඩුවේ මේ රටේ දේශපාලනය, ආර්ථිකය, සමාජය, සංස්කෘතිය අලුත් මඟකට හැරවූවා. ඒ හරවපු ගමන නව විශිෂ්ට වූ ජාතික ගමන් මඟක් කරා ගමන් කළා. වසර 65ක් 66ක් තිස්සේ ඒ ගමන් මඟ ශක්තිමත් වුණා. පෝෂණය වුණා. ඒ ඉතිහාසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දශක 6ක් 7ක් තිස්සේ ගොඩනැඟුවා. ඒ වගේම ඔබ සියලු දෙනාම දන්න කරුණක් තිබෙනවා. එදා පක්ෂයේ නායකයා ලෙස බණ්ඩාරනායක මහතා ජාතිකත්වය ඇති කරන්න ගත්ත ක්‍රියාමාර්ග, දේශීයත්වය ඇති කරන්න ගත්තු ක්‍රියාමාර්ග, රටේ කරපු පරිවර්තනය, ධනේශ්වරවාදීන් සහ දක්ෂිණාංශිකයන්ට රිස්සුවේ නැහැ. ඔවුන් බණ්ඩාරනායක මහතා ඝාතනය කළා.

බණ්ඩාරනායක මහතා 1956 මැතිවරණය කළේ රොස්මිඩ් පෙදෙසේ තිබූ එතුමාගේ නිවෙස උකස් කරලා. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූ පසු ඒ නිවෙස උකසට ගෙන මුදල් ගත්තු ව්‍යාපාරිකයා නැවත ගේ අවශ්‍ය යැයි කීවා.
ඔවුන් ගෙයින් එළිය නොදමා ඔවුන්ට ගෙය දෙන්නැයි බණ්ඩාරනායක මහතාගේ සමකාලීනයන් ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා සිටියා. ව්‍යාපාරිකයා ඒ ඉල්ලීම ඉටු කළා. බණ්ඩාරනායක පවුලේ ඉතිහාසය එයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය තුළ ජයග්‍රහණ ලබනවා. පරාජය වෙනවා. ජයග්‍රහණය කර කර ඉදිරියට යනවා. ශ්‍රී ලංකා නිදහස් ඉතිහාසය මුළුල්ලේ වැටි වැටී නැඟී සිටියා. වැටි වැටී ජයග්‍රහණය ලැබුවා. කොතරම් වැටුණත්, කොතරම් පරාජයට පත් වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැඟී සිටිනවා. ජයග්‍රහණ ලබනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතෙක් වැටුණත් වැටි වැටී නැඟිටින ජයග්‍රහණ ලබන පක්ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළාම එතුමිය දේශපාලනයෙන් නික්ම යනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. එහෙත් එතුමිය වැටුණේ නැහැ. මැතිනිය වැටුණේ නැහැ. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරය, ජාතික ව්‍යාපාරය තව තවත් ශක්තිමත් වුණා. මැතිනිය එම ව්‍යාපාරය සමඟ එක්වෙමින් සිංහ නාද කරමින් නැඟී සිටියා. නැවත නැවත ජයග්‍රහණය කළා.

ඇමෙරිකානු තෙල් සමාගම් ලංකාවේ තිබුණු යුරෝපීය සමාගම් ජනසතු කරද්දී මැතිනියට පාඩම් උගන්වන බව ඔවුන් කීවා. ඔවුන් මැතිනියට අනතුරු ඇඟවූවා. අභියෝග කළා. එහෙත් ඇය නොසැලී බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශ හිතෛෂී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූවා. බණ්ඩාරනායක මහතාගේ ලෙයින් තෙත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිනිය අවුරුදු 40කට වැඩි කාලයක් නායකත්වය දුන්නා. ඇය සිංහ නාද කරමින් අධිරාජ්‍යවාදී සමාගම් ජනසතු කළා. ලෝකයේ අධිරාජ්‍යවාදී රටවලට අභියෝග කරමින් ඇය රට ගොඩනැඟුවා. මේ රටේ ගොවියා, මේ රටේ කම්කරුවා, මේ රටේ වැඩ කරන ජනතාව පුංචි මිනිස්සු ඔළුව ඉස්සුවේ බණ්ඩාරනායක යුගයේදී බව පැහැදිලිව කිව යුතුයි. ඒ ගමන් මාර්ගයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මඟ ශක්තිමත් කළා. ඒ ඓතිහාසික කාර්ය ඉදිරියේදීත් ඉටු කිරීමට තිබෙනවා.

රටට, ජාතියට ආදරය කරන දූෂණයෙන්, වංචාවෙන් තොර ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව අද ඇතිවී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. තමුන්නාන්සේලාට අනුරාධපුර, පොළොන්නරුව සහ රජරට සංවර්ධනය ස¼දහා අවුරුදු 65ක් 70ක් ඉල්ලපු සෑම මැතිවරණයකදීම පොරොන්දු දුන් කෘෂිකර්මාන්තයට අවශ්‍යව තිබූ මොරගහකන්ද ජනතාවට පූජා කරලා අවසන් බව කිව යුතුයි. එදා මෛත්‍රිපාල සේනානායක මහතා මොරගහකන්ද ජලාශය ගැන මේ ගම්වල ඇවිදින ගමන් කතා කළා. පාර්ලිමේන්තුවේදී කතා කළා. පුළුවන් හැම තැනකදීම කතා කළා. මෛත්‍රිපාල සේනානායක ඇමැතිවරයා මැතිනිය සමඟ කතා කරලා පොල්ගොල්ල ජලාශය උතුරට හරවලා එක් වගකීමක් ඉටු කළා. මොරගහකන්ද එතුමාගේ සිහිනයක් වී තිබුණා. ඒ සිහිනය සැබෑ කරන්න අපේ ආණ්ඩුවට හැකියාව ලැබුණා. මොරගහකන්දේ ජලාශයට උප්පැන්නේ ලියන්න අද බොහෝ අය උත්සාහ කරමින් ඉන්නවා. 2015 ජනවාරි මාසෙ 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව මා ජනාධිපතිවරයා ලෙස පත් කරගත්තා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව ඡන්දය භාවිත කළ බව මා සිහිපත් කරනවා. එදා පැවැති ආණ්ඩුව ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට හේතු කිහිපයක් තිබුණා. පළාත් පාලන ආයතනවල සභාපතිවරු කරපු ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, වංචා දූෂණ, මංකොල්ලකෑම් රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමට හේතු වුණා. 2012 සහ 2013 වසර දෙකේ පරණ පත්තර බැලුවොත් මත්කුඩු විකිණීම්, වංචා දූෂණ, මංකොල්ලකෑම් ආදී අපරාධ රැසකට පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සම්බන්ධ බව ඔබට සොයාගන්න පුළුවන්. පක්ෂයේ විනය ක්‍රියාත්මක කරන්න ඕනේ යැයි මා එදා හිටපු නායකයාට කිව්වා. වංචාව, දූෂණය හොරකම දේශපාලනය කරන අයට අයිති දෙයක් නෙවෙයි.

දේශපාලනයට ඇවිල්ලා සාක්කු පුරවාගෙන ජනතාවගේ හෘද සාක්ෂියට මගේ පක්ෂයේ ඔබ සැමගේ පක්ෂයේ කිසිවකුට ඉඩ නොදෙන බව කිව යුතුයි. අද උදේ පාර්ලිමේන්තුව රැස්වුණා. පාර්ලිමේන්තුවේ දෙපැත්තේම අය හොරා කියාගෙන විශාල කලකෝලාහලයක් අද ඇතිවුණා. පික්පොකට් ගහන අය හරියට හිටියා. අහිංසක මිනිස්සු යද්දි පික්පොකට් කා පොකට් එකේ අයිතිකාරයා කියනවා. පර්ස් එකේ අයිතිකාරයා දුවනවා. පික්පොකට් කාරයත් කියනවා අන්න හොරෙක් හොරෙක්. අලුත් දේශපාලන පක්ෂවලට අනාගතයක් නැහැ.

හදිසියේ හදාගන්න දේ පෞද්ගලික න්‍යාය පතා රටේ ජනතාව වෙනුවෙන් කරන දේශපාලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පුංචි මිනිහා පොඩි මිනිහා ගොඩනැඟීම. මේ රටේ ගොවි ජනතාවගේ වැඩ කරන ජනතාවගේ සඟ පංච මහා බලවේග ධීවර රණවිරු ශක්තිමත් කරන බව අපි පැහැදිලිව කියා සිටිනවා. සමහර අය රණවිරු දඩයමක් ගැන කියනවා. මේ රණවිරු දඩයම කළේ කවුද? රණවිරු දඩයම යුද හමුදාවට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකාට ජම්පරය අන්දමින් තමයි රණවිරු දඩයම පටන් ගත්තේ. මම අලුත් ආණ්ඩුවක් හැදුවා. රටේ නිදහස ස්ථාපිත කළා. චෝදනාවට ලක්වෙලා හිටපු ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරයට කරුණු කියා බේරාගත්තේ මමයි.
අපි යන්නේ හොඳ ගමනක්. අපි යන්නේ අලුත් ගමනක්. අපි ජනතාවාදී ගමනක්. ලෝක‍ෙ තවත් රටක දෙවැනි නොවන ගමනක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අපි ලංකාවේ හැමතැනම අත ලකුණෙන්, බුලත් කොළෙන් තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා.

පහන් විජේසේකර අනුරාධපුරයේ සිට
ඡායාරූප - තාරක බස්නායක, සුදත් සිල්වා

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon