ගුටි කෙළියෙන් මැතිසබයේ ලේ හැලෙයි

  👤  3390 readers have read this article !
By mawbima 2018-01-11

2018 වසරේ පළමු දිනයේ පාර්ලිමේන්තුව ඊයේ (10දා) දින කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී ටික වේලාවක් යන විට මැතිසබය තුළ ගුටි බැට හුවමාරුවක් සිදුවීමෙන් පාර්ලිමේන්තුව එකම යුද පිටියක ස්වරූපයක් ගත්තේය.

උදෑසන නව වසර වෙනුවෙන් එකිනෙකාට සුබ පතා ගනිමින් රැස්වූ ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් මැතිසබය රැස් වී ටික වේලාවක් ගතවන විට ගුටි බැට හුවමාරු කරගනිමින් ලේ හලාගනිමින් බැනගනිමින් එකිනෙකා මරා ගන්නා තත්ත්වයක් ඇති වූ අතර මේ නිසා ජනතා නියෝජිතයන් කිහිපදෙනකුටම තුවාල සිදුවිය.
මෙම ගුටිබැට හුවමාරු, තල්ලු කරගැනීම්, පොර බැදීම්, පොත් - ෆයිල් කවරවලින් ප්‍රහාර එල්ල කරගනිමින් විනාඩි කිහිපයක් තිස්සේ සිදු වූ මෙම සිදුවීම්වලින් මුළු මැතිසබයම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඉසිලීය.

ප්‍රහාර එල්ල කරමින් සමහරු දිව යන්නට වූ අතර තවත් සමහරු වටකර ගනිමින් ප්‍රහාර එල්ල කළහ.
මෙම ගුටිබැට හුවමාරුවේ ආරම්භයේ සිටම අවසානය දක්වා සිදු වූ සිදුවීම් එකින් එක ඕඩර් ප්ලීස් තුළින් ගෙන එන්නේ මීට පෙරද මැතිසබය තුළ ඇති වූ සිදුවීම් ඒ ආකාරයෙන්ම ගෙනා පරිද්දෙනි.

2018 නව වසරේ පළමු රැස්වීම් දිනය වාගේම ඊයේ දින පාර්ලිමේන්තුවට තවත් විශේෂ දිනයක් වී තිබුණේ යම් විශේෂ වාර්තාවක් සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ඊයේ (10දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් එම විවාදය ඊයේ දිනම ආරම්භ වනු ඇති බවටත් මත පළ වූ නිසා බොහෝ දෙනකුගේ අවධානය ඒ දෙසට යොමු විය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කතානායකවරයා නිවේදන ඉදිරිපත් කරමින් කියා සිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාවත්, බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා 34ක් තවත් සතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවත් ඒ ගැන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට දැනුම් දී තිබෙන බවත්ය.
මේ වන විට එම කොමිසමේ වාර්තා නීතිපතිට, අල්ලස් කොමිසමට හා ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී තිබෙන බවද කතානායකවරයා ප්‍රකාශ කෙළේය.

මේ සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් නැඟී සිටිමින් ඊට විරෝධය පළ කරමින් අදහස් දක්වන්නට වූහ.
'අපි විවාදයකට ඕනෑම වෙලාවක සූදානම්. මේ ගොල්ලන් සූදානම් නැහැ.' යනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමඟම මැතිසබය තුළ ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.

අනුර කුමාර දිසානායක නැඟීසිටිමින් ප්‍රකාශ කළේ පක්ෂ නායක රැස්වීමේදී පොරොන්දු වූ පරිදි අද දිනය තුළදීම බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
දිනේෂ් ගුණවර්ධනද දැඩි ලෙස ප්‍රකාශ කළේ මෙම වාර්තාව අදම පාර්ලිමේතුවට ඉදිරිපත් කළ යුතු බවයි. පාර්ලිමේන්තුව උත්තරීතරයි. කතානායකතුමාගේ බලතල භාවිත කරලා මෙම වාර්තාව අද දිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරන්න' දිනේෂ් ගුණවර්ධන වේගයෙන් අදහස් දැක්වීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වුවද ඊට ඒකාබද්ධ විපක්ෂයෙන් හා ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වූයේ දැඩි විරෝධතාවකි.

බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවත්, බරපතළ වංචා ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවත් ජනාධිපතිතුමාට ලැබී තිබෙනවා. එම වාර්තා ඉදිරිපත් කරනවාද? නැද්ද? කියන එක ජනාධිපතිතුමාගේ අභිමතය අනුව සිදුවේවි. මගෙන් ඉල්ලීමක් කළා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳෙව්වා. මගේ ප්‍රකාශය ඉදිරිපත් කළාට පසුව අනෙකුත් පක්ෂ නායකයන්ට අදහස් දැක්වීමට පුළුවන්. ඕන නම් මගේ මේ ප්‍රකාශයෙන් පසුව මට තව බනින්න පුළුවන්' යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කරන ලද්දේ වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය.
විපක්ෂ නායක ආර්. සම්පන්දන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඇතුළු තවත් කිහිපදෙනකු අදහස් දක්වන්නට වූ අතර මැති සබය තුළ ඇති වී තිබුණේ දැඩි ඝෝෂාකාරී මෙන්ම උණුසුම් තත්ත්වයකි. මෙම විරෝධතා මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය කිරීම ආරම්භ කළ අතර ඊට එරෙහිව නැඟී සිටි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මැති සබය මැදට පැමිණීමත් සමඟම මැතිසබය තුළ ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.
මහ බැංකුවේ බැඳුම්කර සිදුවීමට අදාළ සටන් පාඨ සහිත පුවරු ඒකාබද්ධ විපක්ෂයේ සෑම ජනතා නියෝජිතයකු අතම තියෙන්නට වූ අතර මෙම විරෝධතා සටන් පාඨ නිර්මාණය කර තිබුණේ බන්දුල ගුණවර්ධන විසිනි. ඔහු විසින්ම එම විරෝධතා පුවරු උපක්‍රමශීලීව මැතිසබයට ගෙනැවිත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර බෙදාහැර තිබිණි.

මැතිසබය මැදට මුලින්ම පැමිණියේ පද්ම උදයශාන්ත ගුණසේකර, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩිය. ඔවුන් පසු පස ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන ගමන් කරන්නට වූයේ 'බැංකු හොරා, බැංකු හොරා' යනුවෙන් හඬ නඟමින් සටන් පාඨ කියමිනි.
මෙම සටන් පාඨ පුවරු උදුරාගැනීම සඳහා මැතිසබය මැදට මුලින්ම පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිඩ්නි ජයරත්න මහතාය.
ඔහු පසුපස හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉඳුනිල් අමරසේන, එස්.එම්. මරික්කාර්, චමින්ද විජේසිරි ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පැමිණෙන්නට වූහ.
උදය ගම්මන්පිලගේ සහ සිසිර ජයකොඩිගේ අත්වල තිබුණු සටන් පාඨ පුවරු සිඩ්නි ජයරත්න විසින් උදුරා ගන්නට උත්සාහ කළ අතර හෙක්ටර් අප්පුහාමි හා තුෂාර ඉඳුනිල් අමරසේනද එසේ උදුරන්නට සූදානම් වූහ.

මේ අවස්ථාවේදී තුෂාර ඉඳුනිල් අමරසේනද පුවරු දෙක තුනක් උදුරාගෙන ඒවා පොඩිකර විසිකර දමන ආකාරයක් දක්නට ලැබිණි.
මේ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල හා හෙක්ටර් අප්පුහාමි පපුවට පපුව තදකරගනිමින් දැඩි උණුසුම් වචන හුවමාරුවක නිරත වූහ. ඔවුන් අතර ගුටිබැට හුවමාරුව ඉතා ආසන්න අවස්ථාවකට පත්වූ අතර එකිනෙකා තල්ලු කරගන්නා ආකාරයක් දක්නට ලැබිණි.
දිනේෂ් ගුණවර්ධන, ඉන්දික අනුරුද්ධ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සෙංකෝලය දෙසට ගමන් කරන්නට වූ අතර ඊට හරස් වූයේ එක්සත් ජාතික පක්ෂයේ චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කඩදාසි ගුළි මැතිසබය මැදට විසිකරන්නට වූ අතර එක් කඩදාසියක් අග්‍රාමාත්‍යවරයාගේ මේසය අසලට වැටිණි. මේ සිදුවීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා ඊට විරෝධය පළ කළ අතර ඔහු හා සිසිර ජයකොඩි මහතා අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

මේ දැඩි උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දිගටම තම ප්‍රකාශය කියවන්නට වූ අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ම අග්‍රාමාත්‍යවරයාට සහාය පළකරමින් ඔහු අසල සිටින්නට වූහ.

මෙම දැඩි වචන හුවමාරුවෙන් අනතුරුව කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා තරමක් පසුපසට වූ අතර ඒ සමඟම ඔහු ක්ලාන්ත වී බිම ඇදගෙන වැටුණේය. කාවින්ද ජයවර්ධනට යළි නැඟීසිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවීරද ඉදිරිපත් විය. කාවින්ද ජයවර්ධන පසුපෙළේ අසුනක වාඩිකරවීමෙන් අනතුරුව එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා විසින් ඔහුට වතුර පොවන ලදී. ටික වේලාවක් සිටීමෙන් අනතුරුව කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව කාවින්ද ජයවර්ධන මහතා ගිලන් රථයකින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන යන ලදී.

මේ සමඟම ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයාගේ අතේ තිබුණු විරෝධතා පුවරුව උදුරා ගැනීමට එස්.එම්. මරික්කාර් උත්සාහ කළ අතර ඒ සමඟම මරික්කාර්ගේ කම්මුල හරහා දැවැන්ත ප්‍රහාරයක් ගාමිණී ලොකුගේ එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් මරික්කාර් අන්දුන් කුන්දුන් විය.
එම ප්‍රහාරයෙන් පසුව මරික්කාර්ට වුවමනා වූයේ ගාමිණී ලොකුගේට ප්‍රහාරයක් එල්ල කිරීමටය. ඊට අවස්ථා කිහිපයකම මරික්කාර් කුරුමානම් ඇල්ලුවත් එය වැළැකී ගියේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ. විජේතුංග මැදිහත් වූ නිසාය.
නමුත් ලද අවස්ථාවකින් ප්‍රයෝජන ගත් එස්.එම්. මරික්කාර් විදුලි වේගයෙන් දිවගොස් ගාමිණී ලොකුගේට ප්‍රහාරයක් එල්ල කරමින් මැති සබයෙන් පිට විය. එම ප්‍රහාරයෙන් ගාමිණී ලොකුගේ තරමක් පුටුවට ඇල විය.

මේ සමඟම චමින්ද විජේසිරිද ගාමිණී ලොකුගේට ප්‍රහාරයක් එල්ල කරනවාත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මරික්කාර් සහ චමින්ද විජේසිරි කොටුකරගන්නට සැලැසුම් කළහ.
ඒ වන විටත් මරික්කාර් මැති සබයෙන් පිටතට දිවගොස් තිබූ අතර චමින්ද විජේසිරි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඉලක්කය විය.
මහින්දානන්ද අලුත්ගමගේ සහ රන්ජිත් ද සොයිසා මේස උඩ තිබූ පොත් සහ ෆයිල් කවරවලින් චමින්ද විජේසිරි දෙසට පහර දුන්නේ ඔවුන් අතර පුටු පේළි කිහිපයක පරතරයක්් තිබුණු නිසාය.

එම ප්‍රහාරවලට චමින්ද විජේසිරි ද පොත් සහ ෆයිල් කවරවලින් ප්‍රහාර එල්ල කළේය.
මෙම එක් ප්‍රහාරයකින් රන්ජිත් ද සොයිසාගේ දකුණු කම්මුලේ යට කොටස කැපී ගිය අතර රුධිරය වහනය වීමක්ද සිදුවිය.
මේ අතර චමින්ද විජේසිරි සිටි ආසන පේළියට පිටුපසින් සෙමින් සෙමින් අඩි තබමින් පැමිණි ප්‍රසන්න රණතුංග දකුණු අතින් චමින්ද විජේසිරිගේ දකුණු කම්මුලට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් චමින්ද විජේසිරි කැරකී ගියේය.
ගාමිණී ලොකුගේට ප්‍රහාරයක් එල්ල කරමින් මරික්කාර් දිවගියේ පාසලේදී දඟකාරකමක් සිදු කර පලා යන කොලු ගැටයකු මෙනි.
ප්‍රසන්න රණතුංග චමින්ද විජේසිරිට කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා හොරගල් අහුලමින් පැමිණීම සිහිගැන්වූයේ හොරකු ඇල්ලීමට යන බඩ තඩි පොලිස් නිලධාරියකුගේ ස්වරූපයයි.

මේ අතර චමින්ද විජේසිරි හා ප්‍රසන්න රණවීර පොර බදන්නට වූ අතර මෙහිදී හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉඳුනිල් අමරසේන ඇතුළු පිරිසක්ද හවුල් වූහ. මෙහිදී ප්‍රසන්න රණවීරට වටකරගෙන පහරදුන් අතර ඔහුගේ කමිසයද හොඳ හැටි ඉරී තිබිණි. වම් කම්මුලට එල්ල වූ ප්‍රහාරයකින් ප්‍රසන්න රණවීරගේ මුහුණ නිල් පැහැ ගැන්වී තිබිණි. ප්‍රසන්න රණවීර බේරාගැනීම සඳහා නිරෝෂන් ප්‍රේමරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු මැදිහත් වූහ.
මෙම පොර බැදීමට මන්ත්‍රිවරියන් දෙදෙනකුද මැදි වූ අතර ඔවුන් දෙදෙනා උත්සාහ කරන ලද්දේ මෙම ගැටුම වැළැක්වීමටයි.
ගැටුම වැළැක්වීමට ගොස් එසේ දැඩි තෙරපුමකට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුසිතා විජේමාන්න මහත්මිය සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මියයි.

මී මැසි පොදියක් වාගේ පොරකන පිරිසකට මැදිවීමෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් දෙදෙනා පත්වූයේ දැඩි අපහසුතාවකටය.
සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්වලටද තුවාල සිදු වී තිබිණි.
'බැංකු හොරා, රනිල් හොරා' කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කෑගසන්නට වූහ.
ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කෑගසන්නට වූයේ 'මහින්ද හොරා' කියමිනි.
මේ නිසා මැතිසබය තුළ ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි. කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව කල් තබා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණද මෙම උණුසුම්කාරී තත්ත්වය තරමක වේලාවක් පැවැතිණි.

මෙම ගැටුම්කාරී තත්ත්වය ආරංචි වූ වහාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවිය.
මැතිසබය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය වළක්වා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද වරක් සභාගර්බය මැදට පැමිණියේය.
ආණ්ඩු පක්ෂයේත්, ඒකාබද්ධ විපක්ෂයේත්, ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකු දැඩි ලෙස මැදිහත්වීම නිසා ගැටුම්කාරී තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පාලනය කරගැනීමට හැකි විය.
ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යළිත් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට සූදානම් වනවාත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඊට විරෝධය පළකරමින් මැති සබයෙන් පිට වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon