පාර්ලිමේන්තුවේදී අගමැති ඊයේ රඟ දැක් වූයේ බැඳුම්කර හොරකම යට ගැසීමේ තවත් රංගනයක්

  👤  3590 readers have read this article !
By mawbima 2018-01-11

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුව කැඳවා විශේෂ ප්‍රකාශයක් කරමින් බැඳුම්කර හොරකම යටපත් කිරීමේ ක්‍රියාවලියේ තවත් කොටසක් දියත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
ඊයේ (10දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසුවේය.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

2015 ජනවාරි 9 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙනවා. ලංකා දේශපාලන ඉතිහාසයේ කැබිනට් මණ්ඩලයක් පත් කරන විට විෂයන් බෙදීම නිල වශයෙන් ගැසට් කළා. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් බැහැර කරලා රනිල් වික්‍රමසිංහ මහතා අතට ගත්තා. එදා තමයි මේ හොරකම සැලැසුම් කළේ. ඒකයි එතෙක් මුදල් ඇමැතිවරයා යටතේ තිබුණු අමාත්‍යාංශය තමා යටතට ගත්තේ.

ලංකාවේ පුරවැසියෙක් නොවන මේ සිංගප්පූරු ජාතිකයා මහ බැංකු අධිපති ධුරයට පත් කරද්දී දිවුරුම් දීම වලංගු වුණේ නැහැ. සියලු දෙනාගේ විරුද්ධත්වය මත වගකීම ගන්න බව කියලා ඔහුව අගමැතිවරයා විසින් පත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් වන කබීර් හෂීම්, රවි කරුණානායක, මලික් සමරවික්‍රම තිදෙනා මහ බැංකුවට යනවා. මුදල් ගෙවීමක් තියෙනවා නම් ආණ්ඩුවක් පත් වෙලා මාස දෙකක් යද්දී ණයක් ගෙවන්න බැඳුම්කරයකින් හරි මේ ණය ගන්න කියන්නලු. ඒ අය මහ බැංකුවට ගියේ.
ඊළඟට පෙබරවාරි මාසේ 27 වැනිදා වෙන්දේසි පැවැත්වුණා. මහ බැංකු අධිපති කියනවා වසර 18ක් පැවැති ක්‍රමය වෙනස් කරන්න කියලා අගමැතිවරයා දුරකතනයෙන් කිව්ව බව. මේක ලස්සන සැලැසුම්සහගත හොරකමක් බව පේන්නේ නැද්ද. හොරුන්ට කල්පනා වුණේ නැහැ. මේ ක්‍රමය තුළම ප්‍රශ්නයක් ඇති බව. ප්‍රාථමික වෙළෙඳුන් මට පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් තොරතුරු දුන්නා. ඊට පස්සෙයි අපි මේ සම්බන්ධයෙන් හඬ නඟන්නේ.

මේ ප්‍රශ්නය ඩිව් ගුණසේකර කෝප් කමිටුවේ සාකච්ඡාවට ගන්න සූදානම් කරලා තියෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවලා ජනාධිපතිතුමාම කිව්වා අගමැතිවරයාව බේරා ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව. එදා අපි හඬනඟපු වෙලාවෙ හරි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය අහෝසි කළා නම් 80%කින් හරි වංචාව වළක්වා ගන්න තිබුණා. මනෝ ගනේෂන්ගේ නියෝජිතයා ඉවත් කරලා සුජීව සේනසිංහ ඇතුළට ගත්තා. අවසානයේ ෆුට් නෝට් කල්ලියක් හැදුණා. සිද්ධිය ගැන සුජීව සේනසිංහ පොතක් ලියුවා. අගමැතිවරයා සිරිකොතේ ඉන්න තුන්දෙනෙක් දාලා කොමිසමක් පත්කරලා මේ සිද්ධිය යට ගහගන්න උත්සාහ කළා. මේ අතර අර්ජුන මහේන්ද්‍රන්ව ඉවත් කරන්න හඬනඟද්දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඔහු වෙනුවෙන් පෙනී සිටියා. වාර්තාව ප්‍රකාශයට පත්වුණාම අර්ජුන මහේන්ද්‍රන් වෙනුවට කැනේඩියන් ජාතිකයෙක් ගෙන්වලා තියෙනවා.
අද රුපියල් 131 තිබුණු ඩොලරය වැඩියි. අද දිනයේ පාර්ලිමේන්තුව කැඳවා කළ වැඩෙත් මේ හොරකම යටපත් කරගැනීමේ සැලැසුමේ එක් කොටසක්, මේකොල්ලය යටපත් වෙන්න දෙන්න එපා. රටේ අනාගතය කණපිට හැරෙන අවාසනාවන්ත තත්ත්වයක්. නීතිපතිත් පාර්ලිමේන්තුවේ හිටියා. නීතිපතිවරයාටත් මෙහි කොපියක් දීලා තියෙනවා. අඩු ගාණේ ඒ කොපියවත් දෙන්න තිබුණා. මේ සියල්ලම සැලැසුම් සහගතව සිදුවෙන දේවල්.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන,
පළාත් පාලන මැතිවරණයත් ජනතා ප්‍රශ්නත් යටපත් කරමින් මේ දිනවල මහ දවල් කරපු මහා කොල්ලය කරළියට ඇවිත්. ඒ නිසා අද පාර්ලිමේන්තුවත් බැඳුම්කරය හා සම්බන්ධ කාලගෝට්ටියක් වෙලා. ලංකා ඉතිහාසයේ කිසි දිනෙකත් සමස්ත රටේ මුදල් ක්‍රමය ණය ක්‍රමයට අදාළ මෙවැනි සොරකමක් නොවීම එයට හේතුවයි. වර්තමාන ආණ්ඩුවේ දින 100 විප්ලවය යටතේ මුදල් නෝට්ටුව මුද්‍රණය කිරීමේ බලය ඇති ශ්‍රී ලංකා මහ බැංකුව කොල්ල කෑවා. මෙය දෙවරක් සිදු වුණා. මෙයින් රුපියල් බිලියන 2000ක විතර ආවස්ථික පාඩුවක් සිදුවෙලා තියෙනවා. මේ හොරකම වහන්න එක්සත් ජාතික පක්ෂය කිව්වේ 2008 සිට 2014 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ භාණ්ඩාගාර නිකුතුවලදී මීට වඩා විශාල වංචා, දූෂණ සිදුවෙලා කිව්වා. මෙය අද මුළු ලෝකය පුරාම කතාබහට ලක් වෙනවා. ඒ කාලයේ නූල් පොටක හෝ වංචාවක් නොවුණු බව දිවුරූ ජනතාවට සහතික කිරීමක් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කර තියෙනවා. එතුමා නොකීවත් එවැනි වංචාවක් වෙනවා නම් ඒ ක්‍රමවේදය තුළින්ම එවෙලේම ආයෝජකයන්ට එය දැනෙනවා. ඒක වෙළෙඳපොළක්.

ලංකා ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයක් නිර්මාණය වෙමින් තියෙනවා. මුදල් ආයෝජනය කළ හැකි විශ්වාසදායකම මෙවලම විදියටයි බැඳුම්කර සලකන්නේ. මේවායේ ආයෝජන කරපු සල්ලි දැන් ගෙනයෑම පටන් අරන්. දැනටමත් ආයෝජන සම්බන්ධ ප්‍රතිඵලය උදාවෙලා. ලූම් බර්ග් ආයතනයේ ආයෝජන සඳහා අවදානම් රටවල් අතර අවදානම වැඩිම රට බවට පත්වෙලා තියෙනවා.

ඉෂාරා සිල්වා
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon