අවුරුදු පහේ ධුර කාල සීමාව ජනාධිපති මෛත්‍රීට බලපාන්නේ නැහැ

  👤  3649 readers have read this article !
By mawbima 2018-01-11

දෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කරන්න නම් ධුරය දැරිය හැකි කාලය පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසන්නේ නැහැ'යි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (10දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්ය. එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
පාර්ලිමේන්තුවේදී බදාදා ඇති වූ සිද්ධිය කුමක්ද?

මේ වාර්තාව ඉල්ලලා කෑ ගහන අය මීට කලින් එහෙම කළේ නැහැ. චන්ද්‍රිකා ජනාධිපතිගේ කාලයේ කොමිෂන් වාර්තා ඉදිරිපත් වුණා. ඒවා ප්‍රසිද්ධ වුණේ නැහැ. පිටු 1257ක බැඳුම්කර වාර්තාව සංක්ෂිප්ත කර ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ, ඇතුළු පක්ෂවලින් ඉල්ලා සිටියා වාර්තාව ගැන විවාදයක් දෙන්න කියලා. කොමිෂන් සභා වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තීන්දුවක් ගත්තොත් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ.
පක්ෂ නායකයන්ගේ එකඟතාව අනුව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායකතුමා ජනාධිපතිගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව නීතිපතිගේ උපදෙස් අනුව ජනවාරි 17 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා දන්වා තිබෙනවා. නීතිපති මහ බැංකුවටත්, අල්ලස් කොමිසමටත් ඉදිරිපත් කළ යුතු බවත් කියා සිටියා. මේ පිළිබඳ අගමැතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන විට තමයි ඒකාබද්ධ විපක්ෂය ඒක කඩාකප්පල් කිරීමට කලබල ඇති කෙළේ.
බැඳුම්කර වාර්තාව සම්බන්ධ විවාදය කවදාද සිදු කරන්නෙ?
ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගමන්ම කරන්න බැහැ. පක්ෂ නායක රැස්වීමකදී ඒක ගැන තීරණයක් ගන්න පුළුවන්.
නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නෙ පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමෙන් පසුවද?

නැහැ. ඒක වෙනම සිදු කෙරෙනවා.
බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව පිළිබඳ වෙනම සොයා බැලීමක් කෙරෙනවාද?
මහ පරිමාණ මූල්‍ය වංචා වෙනම අධිකරණයකට යොමු කළ හැකියි. නමුත් පාඩුව කුමක්ද කියලා හඳුනා ගන්න ඕන. කොමිසමත් එවැනි නිර්දේශයක් සිදු කොට තිබෙනවා. මේ ගනුදෙනුවලට ඍජුව සම්බන්ධ වෙන ආර්ථික විද්‍යාඥයන්ටයි දැනුම තියෙන්නෙ. මේ පුද්ගලයො පත් කරන වෙලාවේ මම විරුද්ධ වුණා. නමුත් එය කරපු දූෂණය කොතෙක් දැයි කියන්න මට හැකියාවක් නැහැ. මේකෙ පාඩුව බිලියන 11යි. මහ බැංකුව පර්පචුවෙල් සමාගමේ බිලියන 12ක් රඳවාගෙන තිබෙනවා. 2008-2014 දක්වා බැඳුම්කර වංචා සිදු වෙලා. ඒකෙ වටිනාකම බිලියන 4,000ක්. ඒ නිසා මේ පිළිබඳ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියකින් ඔබ්බට ගොස් විශේෂ මූල්‍යමය අධිකරණ ක්‍රියාවලියක් සිදු කළ යුතුයි. ජනාධිපති කොමිසමට මෙතරම් මූල්‍යමය වංචාවක් පිළිබඳ සොයන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මට මුලින්ම ඇති වුණා.

මේ පාඩුව ගැන අපිත් සමඟ කටයුතු කරන රටවල්, සංවිධාන බලා සිටිනවා. මේකෙ පාඩුව කෝප් කමිටුවට හෝ අගමැතිතුමා පත් කළ කමිටුවටවත් ගණනය කරන්න බැහැ. ඒත් මේ කොමිසම හොඳ ආරම්භයක් ලබා දුන්නා.
වත්මන් ආණ්ඩු කාලය තුළ මේ පරීක්ෂණ සිදු කළ හැකිද?
සිදු කළ යුතුයි. නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්පූර්ණ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාගත යුතුයි.
2008-2014ට බැඳුම්කර විකිණීමට අදාළව විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කොට තිබෙනවා. ඒකට අනුව ඔය කියන බිලියන 4,000 පාඩුව සිදු වී තිබේද?
ඒ වාර්තාව නම් මම දැක්කෙ නැහැ.
විගණන වාර්තාව දිගින් දිගටම යට යන බවක් පෙනෙනවා?
ඒකත් මේ එක්කම බද්ධ කරලා බලන්න ඕන. හිටපු විගණකාධිපතිත් මේ කොමිසමේ හිටියා.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් වී තිබේද?
සභාපතිවරයා ඉවත් වී තිබෙනවා. දැන් අතුරු කමිටුවක් ඇමැතිතුමා විසින් පත්කර තිබෙනවා. ඒ අතුරු කමිටුව තමයි 25 රැස් වෙන්නෙ.
රාජගිරියේ ගුවන් පාලම හැදුවත් වාහන තදබදය විසඳිලා නැහැ?

ඕක පළමු පියවර විතරයි. මාලඹේ දක්වා මාර්ගය දිගු කරනවා. එතකොට ප්‍රශ්නය විසඳේවි.
ජ'පුර රෝහලේ හෙද වර්ජනය තවමත් විසඳී නැහැ. මොකක්ද ඉදිරි ක්‍රියාමාර්ගය?
පැරැණි ක්‍රමයට පොතක අස්සන් කළා. 'ඊ හෙල්ත්' වැඩ සටහනට සමගාමීව ඇඟිලි සලකුණු කරනවා විතරක් නෙවෙයි සියලු රෝහල් කටයුතු පරිගණක ගත කරනවා. නව තාක්ෂණයට විරුද්ධව තමයි වැඩ වර්ජනය කරන්නෙ. කැබිතිගොල්ලෑව රෝහලේ පවා ඔය තාක්ෂණික ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය සමිති යෝජනා 5ටම අපි එකඟ වුණා. ඒත් ඊට පසුවත් වර්ජනය කරනවා.

වත්මන් ජනාධිපතිවරයාට අයිති ජනාධිපති ධුරයේ කාලය විමසන්න කටයුතු කොට තිබෙන්නේ ඇයි?
ජනාධිපතිතුමා සූදානම් වුණේ 2020දී ජනාධිපතිවරණයට යෑමටයි. නමුත් 2021දී බව එතුමාට දන්වා තිබෙනවා. ඒක තමයි ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසන්නෙ. අවුරුදු 5 ක් තමයි ජනාධිපති ධුරය දරන්න පුළුවන් වෙන්නෙ. ඒක මේ ජනාධිපතිතුමාට බලපාන්නෙ නැහැ.
ඒ කියන්නෙ වත්මන් ජනාධිපතිතුමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කරනවා?

එහෙම යනවා නම් ඉතිං එහෙම විමසන්නෙ නැහැනෙ.
දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - සජීව චින්තක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon