70 වසරක් තිස්සේ වැටත් නියරත් ගොයම කෑම නිසා අමාරුවේ වැටුණු රට බේරා ගත යුතුයි

  👤  3165 readers have read this article !
By mawbima 2018-01-11

සුද්දා, අපේ රට අපට භාරදී යනවිට රුපියලකින්වත් අපේ රට ලෝකයට ණය වී තිබුණේ නැහැ. නමුත් කළු සුද්දන් රටේ පාලනය භාරගෙන හැත්තෑ වසරක් ගෙවී ගිය තැන මේ රටේ සෑම පුරවැසියකුම රුපියල් හාර ලක්ෂයකට වැඩියෙන් ලෝකයට ණය කර ඇත. කොළ පාට - නිල් පාට - රතු පාට දෙතුන්ගොල්ලම හවුලේත් මාරුවෙන් මාරුවටත් රට භාරගෙන කරපු වින්නැහියක තරම එපමණක් නොවේ.

රත්රන් පොළොවක්
අපේ මේ මාතෘ භූමිය වගාවටම උපන් රත්රන් පොළොවකි. වී ඇතුළු ධාන්‍ය වර්ග - එළවළු හා අතිරේක බෝග සරුසාර ලෙස අපේ මාතෘ භූමියේ වැවෙයි. නමුත් අදටත් හාල් - ලූනු - මිරිස් - මුං - උඳු - කව්පි - කුරහන් යනාදී හැම ආහාර බෝගයක්ම පිටරටින් ආනයනය කරති. අවුරුදු හැත්තෑවක් ගෙවී යන තුරුත් රත්රන් පොළොවක ඉඳගෙන රටේ කෑම ටික හදාගන්නට බැරි වුණා නම් මොවුන් රටට හා ජනතාවට කළේ මොනවාද?

අප සමඟ එකවර නිදහස ලබාගත් ඉන්දියාවේ නායකයන් දණහිසට කදාර් රෙද්ද පටලවාගෙන බක්කි කරත්තයෙන් වැඩබිමට ගොස් වැඩකරුවන්ට හා වැඩපොළට නායකත්වය දී රට සරුසාර කරනු ලැබීය. අපේ උන් හතරවරං දෙසාබා ජනතාව මුළාකොට මනාපය ලබාගෙන පාර්ලිමේන්තුවට ගොස් රටේත් ජාතියේත් ඉහමොළ සූරාකන ලදී. අපේ රට පුරවන්නට තරම් යානවාහන හදා ඇති ඉන්දියාව කෙතරම් සිය මවුබිම වෙනුවෙන් කැපවන්නේද යත්, එරට නායකයන් ගමන් බිමන් යන්නේ "ඇම්බෙසඩර්" වැනි පුංචිම කාර්වලය. තවමත් බයිසිකල් කටුවක්වත් හරියට හදාගන්නට බැරි අපේ උන්ට ගමන් බිමන් යෑමට කෝටි තුන, හතරේ වාහන නැතිවම බැරිය. ඊයේ පෙරේදා එක් නායකයකු ලක්ෂ තුන්දහසක් බැගින් වටිනා වාහන දෙකක් සිය පරිහරණයට ගෙන්වා ගත්තේය. මහ ජනතාවගෙන් එකතු කරන බදු මුදල් මොවුන් පාවිච්චි කරන්නේ අම්මගේ - අප්පගේ බූදලය මෙනි. අපේ රට මෙන් හැට ගුණයක් විශාල ඉන්දියාවේ ඇමැති මණ්ඩලය 32කි. ඇමැති මණ්ඩලය අඩු වූ විට පාලනය පහසු බව තේරුම් ගෙන ඇතත් ඇමැති මණ්ඩලය වැඩි වූ විට පාලනය අපහසු බව තේරුම් ගන්නට බැරිව අපේ මේ පුංචි රටේ ඇමැති මණ්ඩලය දැන් සීයකට කිට්ටුය.

නියෝජිතයන් දෙගුණ වීම
කලින් ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයන් පත්ව සිටියේ හාරදහසක් පමණ පිරිසකි. දැන් ඒ පිරිස අටදහසක් දක්වා දෙගුණයක් කරගෙන ඇතත් මහජනයාට ඒ සා විශාල පිරිසක් අවශ්‍යද? නැද්ද? යනුවෙන් මහජන මතය විමසීමක් කළේ නැත. පාර්ලිමේන්තුකාරයන්ගේ අභිමතය පරිදි ඔවුන්ගේ කල්ලියේ ගම සූරාකන්නන්ගේ ගොඩ වැඩිකර ගැනීම සඳහා මෙසේ අටදහස දක්වා වැඩි කරගෙන තිබේ. අපේ රටේ නායකයන් දේශමාමක නායකත්වයක් රටට නොදුන් නිසා අපේ රට දවසින් දවසම පරිහානියට පත් වෙමින් පවතී.
ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය පාර්ලිමේන්තුව යැයි කියනු ලැබේ. නමුත් පාර්ලිමේන්තුවට පත්ව යන වැඩිදෙනා රට ගැන නොහිතන තමන් ගැන පමණක් හිතන ආත්මාර්ථකාමී රැළක් වීම නිසා අද අපේ රට මහත් දූෂිත රටක් බවට වාර්තාගත වී ඇත. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් වොෂින්ටන් නුවරදී දියත් කළ වංචා කළ දේපොළ ආපසු ලබාගැනීම සඳහාම ගෝලීය සංසදයේ රැස්වීමට සමගාමීව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ප්‍රකාශනයේ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ඇත්තේ අන්ත දූෂිත කුජීත පාලනයක් බවයි. මෙම ප්‍රකාශනය පිළිබඳව මේ රටේ විගණකාධිපති කරුණු පැහැදිලි කරමින් කියා ඇත්තේ හැත්තෑ අවුරුදු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන ශ්‍රී ලංකාව පාලනයක් නැති දූෂිත රටක් ලෙස හඳුන්වනු ලැබීම ගැන මේ රටේ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතු බවයි. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුකාරයන්ට ලැජ්ජා - බය ඇත්නම් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම විවෘත ප්‍රකාශය ගැන කම්පාවට පත්විය යුතුය.

තක්කඩි මන්ත්‍රිවරු
පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා 'අද ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දරුවන් තමන්ගේ පියා මන්ත්‍රිවරයකු බව' කීමට ලැජ්ජා වන බව සඳහන් කළේය. සමාජයේ සිටින තක්කඩින්ගේ හැසිරීම් රටාව ඇතැම් මන්ත්‍රිවරු තුළින් විද්‍යමාන වන්නේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මහ බැංකු කොල්ලය ගැන මේ වනවිට මුළු ලෝකයම දනී. මොවුන් විළිලැජ්ජා ඇත්නම් තවදුරටත් කලිසම් - කෝට්පළු - ටයිපටි දාගෙන පාර්ලිමේන්තුවට එන්නේ නැත. හරිනම් මේ කරන ලද මහා මූල්‍ය අපරාධයට ජනතාවගෙන් සමාව ගෙන හොරකම් කර ඇති මුදල් ආණ්ඩුවට භාරදිය යුතුය. භාර දී ඉල්ලා අස්වී ගෙදර යා යුතුය. ජාතික ධනය කොල්ල කන ලද මේ වංචනිකයන්ගෙන් එම මුදල් ආපසු අය කර ගන්නාතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිති.

දේශගුණික විපර්යාසය නිසා රටේ ආහාර නිෂ්පාදනය කඩා වැටී ඇතැයි කියමින් දැන් හාල් ඇටේ පටන් සියලුම ආහාර බෝග පිටරටවලින් ගෙන්වීම මඟින් මොවුන් තවත් ඉල්ලමක් පාදාගෙන ඇත. රටට ආහාර ද්‍රව්‍ය ආනයනය කරමින් ඔවුන් කරන්නේ කොමිස්වලින් සිය සාක්කු පුරවා ගැනීමය. දේශගුණික විපර්යාසය නිසා මේ රටේ ආහාර නිෂ්පාදනය කඩා වැටුණේ යැයි කියන කතාව අමූලික බොරුවකි. 2016 යල කන්නයේදී රජරට මහ වැව් පිරී තිබියදීත් වී ගොවිතැනට ජලය දුන්නේ නැත. මේ ගැන ගොවියෝ සාක්ෂි දරති. සිතාමතා මේ රටේ වී වගාව කඩාකප්පල් කොට දැන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ ගණනින් ආනයනය කරති. ඒ සමඟම කොමිස් මුදල්වලින් ඔවුන්ගේ සාක්කු පිරී යයි.

පොල් වගාව
මේ රටේ සුද්දන් විසින් උන්ගේ වැඩි වාසියට හෝ ඇති කළ තුන්වැනි ආර්ථික ඉල්ලම වූ පොල් වගාව විනාශ කර දමන ලද්දේ එම විෂයට සම්බන්ධව කටයුතු කරන ලද බලධාරීන්ය.

පොල් වගාව කම්බස් කළ පසු දැන් ඉතිරිව ඇත්තේ කාන්තාවන් වහල් වෙළෙ¼දාමෙහි යෙදවීමේ ජාවාරම පමණි. අපේ දුප්පත් කාන්තාවන් ලිංගික වහලියන් සේ පිටරටවලට විකිණීම සිදුවේ. මේ සියලු අකටයුතුවලට වගකිව යුත්තේ පාලකයෝය. ඇත්ත වශයෙන් අද මේ අපේ රට වැටී ඇති අන්ත අසරණ කාලකණ්ණි තත්ත්වය ඇති කරන ලද්දේ මේ දූෂිත පාලක පන්තියයි. එය දැන් ජනතාවට අවබෝධ වෙමින් තිබේ. ඇතැම් විට මිනිසුන්ගේ ඉවසීමේ හා සාමකාමී බවේ සීමාව ඉක්මවා යෑමට තරම් තත්ත්වය දරුණු වීමට බොහෝ විට ඉඩ තිබේ. අවාසනාවන්ත එවැන්නකට ඉඩ නොතබා, ජනාධිපතිතුමා එඩිතරව නිසි පියවර ගනු ඇතැයි අවංක බලාපොරොත්තුවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon