උතුරේ වනය නසන පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය හකුළා ගත යුතුයි

  👤  3532 readers have read this article !
By mawbima 2018-01-11

උදයන්ති මුණසිංහ

අක්කර දෙදහසකට (2000) අලුතින් ජලය ලබාදීමට අක්කර දහනව දහස් හයසිය හැත්තෑ පහකට (19,675) අධික ප්‍රදේශයක් විනාශ මුඛයට ඇද දමා අසාර්ථකම ව්‍යාපෘතිය ඉතිහාසයට එක් කරමින් උතුරේ වනාන්තර නසන 'පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය' ඉදිකිරීම යහපාලන ආණ්ඩුව මේ වන විටත් ආරම්භ කර තිබෙන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.
මේ ව්‍යාපෘතිය හරහා සිදුවන වනාන්තර විනාශය පිළිබඳව ඊයේ (10දා) කොළඹ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මල්වතු ඔය කප්පචචි ප්‍රදේශයෙන් හරස් කොට ඉදිකිරීමට සූදානම් වන මේ දැවැන්ත වේල්ල හා ජලාශය නිසා තන්තිරිමලේ අවට ඇති කැලෑ සහ විල්පත්තුව යළිත් දැවැන්ත පාරිසරික අනතුරකට ලක් වී තිබෙන බවත් 1960 වර්ෂයේදී මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරීම් කර අවසන් කිරීමට යෝජනා වූ මේ ව්‍යාපෘතිය වසර ගණනාවකට පසුව පසුගිය ජුනි මාසයේදී වාරිමාර්ග අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විසින් ආරම්භ කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

පරිසර තක්සේරු වාර්තාවක් හෝ නොමැතිව ඉදිකිරීමට යන මේ ව්‍යාපෘති යෝජනාව අනුව ජලය රැස්කිරීම සඳහා කප්පචචි අවට ප්‍රදේශයේ අක්කර දාහත් දහසක වනාන්තර සහ අවශේෂ කැලෑ ඉඩම් යට කිරීමට සිදුවන බවත්, මෙයට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත කලාපයේ අක්කර දෙදහසක් පලතුරු වගා කිරීම සඳහා පුද්ගලයන්ට හෝ ආයතන වෙත පවරා දීමට මේ ව්‍යාපෘතියෙන් සැලැසුම් කර ඇති අතර නැවත පදිංචි කිරීම සඳහා තන්තිරිමලේ හා චෙන්ඩි කුලම් මාර්ගයෙන් බටහිර දෙසට විල්පත්තු වනෝද්‍යානයේ කැලෑ අක්කර හයසිය හැත්තෑ පහක්ද කපා දැමීමට සූදානම් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාරිසරික නීතිය උල්ලංඝනය කරමින් ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතිය ජාතික පාරිසරික පනත පමණක් නොව වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතද මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවයි.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රදේශය ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් බවත් අදාළ ප්‍රදේශයේ හා ඉන් පහළ කුඩා වැව් ගණනාවක් හා විල්ලු විශාල සංඛ්‍යාවක් පිහිටා තිබෙන අතර මේ වේල්ල ඉදිකිරීම නිසා එල්ලංගා පද්ධතිය විනාශ වී යන අතර මල්වතු ඔයේ පිටාර ජලයෙන් පිරෙන විල්ලු සියල්ල සිඳීයෑමේ අවදානමක් ඇති බවත් එය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සමස්ත පරිසර පද්ධතියටම මෙන්ම ජෛව විවිධත්වයට ඉතාම අහිතකර බලපෑම් එල්ල කරනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මෙලෙස දැවැන්ත පාරිසරික විනාශයක් සිදුකරමින් බහු ජාතික සමාගම්වල ආර්ථික බෝග වගා කිරීමට සිදු කරන මේ විනාශකාරී ව්‍යාපෘතියට ලබා ගන්නා බිලියන 13ක ණය මුදල ගෙවීමට සිදුවන්නේද මෙරට ජනතාවටම බවත් මේ දැවැන්ත විනාශය නැවැත්වීමට ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගේ නිසි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon