ගිය අවුරුද්දේ අල්ලස් කොමිසමට පැමිණිලි 2,590ක්

  👤  2985 readers have read this article !
By mawbima 2018-01-11

සිදත් මෙන්ඩිස්

විවිධ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් 2017 වර්ෂය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි 2,590ක් ලැබී තිබේ.
එම පැමිණිලිවලින් විමර්ශන සඳහා පැමිණිලි 1,549ක් තෝරාගෙන ඇති අතර ඉන් 1,086ක විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ විමර්ශන ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

විෂය පථයට අදාළ නොවන බැවින් පැමිණිලි 673ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත. වැටලීම් 76ක් සිදු කර ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 89ක් සහ මහාධිකරණය හමුවේ නඩු 20ක් ලෙස නඩු පැවැරූ බව ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.
නඩු විභාගවලින් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලයන් 18 දෙනකු සහ මහාධිකරණය හමුවේ පුද්ගලයන් 39 දෙනකු ලෙස වැරැදිකරුවන් වී තිබේ.
අල්ලස් ගැනීම්, දූෂණ චෝදනා සහ අයුතු වත්කම් ඇතුළු චෝදනා කිහිපයකට අදාළව මෙලෙස පැමිණිලි ලැබී තිබේ.

මීට අමතරව පසුගිය වර්ෂවලට අදාළව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවැරීම් 77ක් සිදු කළ බවද අල්ලස් කොමිසම සඳහන් කළේය.
එම පැමිණිල්ලට අදාළව වැටලීම් 39ක් සිදු කර පුද්ගලයන් 51 දෙනකු අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 32ක් සහ මහාධිකරණය හමුවේ 41ක් ලෙස නඩු පවරා ඇත.

අධ්‍යක්ෂ, විමර්ශන ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ දේශපාලනඥයන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් සහිත නවදෙනකුටද මෙලෙස නඩු පවරා ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon