වසර හයම ඉන්න පුළුවන්ද?

  👤  3380 readers have read this article !
By mawbima 2018-01-10

ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 06ම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කුමන හෝ ආකාරයක ව්‍යවස්ථාමය බාධාවක් පවතින්නේ දැයි සොයා බලා ඒ පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය දන්වා එවන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තිය මඟින් සැලසී ඇති ප්‍රතිපාදන මත ජනාධිපතිවරයා මෙම විශේෂ විමර්ශන අයැදුම අගවිනිසුරුවරයා වෙත යොමුකොට ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) වගන්තියෙන් ජනාධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් පනවා ඇති නීති ප්‍රතිපාදන ප්‍රකාරව 2015 ජනවාරි මස 09 වැනි දින ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී එම තනතුරෙහි කටයුතු කරමින් සිටින තමා හට එම දිනයේ සිට වසර 06ක් සම්පූර්ණ වනතෙක් දිගටම එකී තනතුරෙහි රැඳී සිටීමට කුමන හෝ ආකාරයක ව්‍යවස්ථාමය බාධාවක් පවතින්නේදැයි යන කරුණ සම්බන්ධයෙන් නිරීක්ෂණය කොට ඒ පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය මේ මස 14 වැනි දිනට පෙර ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා මෙම විශේෂ විමර්ශන අයැදුම්පත්‍රය ඉදිරිපත් කොට ඇත.
ජනාධිපතිවරයා යොමුකොට ඇති මෙම විශේෂ විමර්ශන අයැදුම්පත මේ මස 11 වැනි දින පෙරවරු 10.00ට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විශේෂ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විමර්ශනයට ලක්කිරීමට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා දින නියම කොට ඇත.

තවද එම විශේෂ විමර්ශනය එදින පැවැත්වෙන බැව් සිය සාමාජික නීතිඥවරුන් හට සන්නිවේදනය කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දෙන ලෙසටද අගවිනිසුරු ඩෙප් මහතා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ජේ‍යෂ්ඨ ලේඛකාධිකාරි එම්.එම්. ජයසේකර මහත්මියට උපදෙස් දී ඇත.
ඒ අනුව ඊයේ (09දා) දිනය වනවිටත් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ජේ‍යෂ්ඨ ලේඛකාධිකාරි ජයසේකර මහත්මිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙත 11 වැනි දින පැවැත්වෙන විශේෂ විමර්ශන නඩු විභාගය පිළිබඳව දැනුම් දී තිබිණි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සම්මත කරගත් 19 වැනි සංශෝධනය ප්‍රකාරව ජනාධිපති තනතුරෙහි ධුර කාලය වන්නේ වසර පහකි.
මේ සම්බන්ධව විමසීමට සම්බන්ධ කරගත් විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා එම ලිපිය ලැබුණ බවද සඳහන් කරමින් කියා සිටියේ ඒ ගැන නීතිඥ සංගමයේ සාමාජිකත්වයට දැනුම් දීමට තමන් අවශ්‍ය පියවර ගත් බවය.

මේ කරුණ සම්බන්ධව අපි නීතිඥ සංගමය විදියට කිසිම මතයක් හෝ අපේ ස්ථාවරය ප්‍රකාශ කරන්න යන්නෙ නැහැ. එහෙත් අවශ්‍ය නම් ජනවාරි 11දා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙසත් ඕනෑ නම් ඔවුන්ගේ අදහස් උසාවියට ඉදිරිපත් කරන ලෙසත් සාමාජිකයන්ට දැන්වූවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon