ඩයලොග් ලීග් රග්බි තරගාවලිය සී.එච්., සී.ආර් සහ මහනුවර ජය ගනියි

  👤  3596 readers have read this article !
By mawbima 2017-12-18

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා රග්බි සංගමය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේදී නොකඩවා තෙවැනි ජයත් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් වෙද්දී සෙසු තරගවලදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. හා මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. හා නාවික හමුදා කණ්ඩායම් අතර පැවැති තරගයේදී යෝෂිත රාජපක්‍ෂ 22 වැනි විනාඩියේදී ලැබූ උත්සාහක දිනුම හේතුවෙන් තරගයේ ඉදිරියෙන් සිටීමට සී.එච්. කණ්ඩායම සමත් වුවද තරගයේ පළමු භාගයේදී 12-10ක් ලෙස ඉදිරියෙන් සිටියේ නාවික හමුදා කණ්ඩායමයි.

එහෙත් පළමු භාගයේදී සිදුවූ අතපසුවීම් නිවැරැදි කරගත් සී.එච්. ක්‍රීඩකයන්් අවසානයේදී තරගය 27-24ක් ලෙස ජයගැනීමට සමත්වීම කැපී පෙනුණි. එහිදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම වෙනුවෙන් ගෝල දිනුම් 3ක්, එක් දඬුවම් පහරක් හා ඩේ‍රාප් ගෝල දිනුමක් වාර්තා වී තිබූ අතර, නාවික හමුදා කණ්ඩායම වෙතින් ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් දෙකක් වාර්තා වී තිබිණි.

මේ අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. හා පොලිස් කණ්ඩායම අතර තරගයේදී පළමු භාගය 34-06ක් ලෙස කිසිදු අපහසුවකින් තොරව ඉදිරියෙන් සිටි සී.ආර්. ක්‍රීඩකයන් අවසානයේදී 53-13ක පහසු ජයග්‍රහණයක් හිමිකරගනු ලැබූ අතර, එහිදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ගෝල දිනුම් 5ක්, උත්සාහක දිනුම් 3ක් හා එක් ඩේ‍රාප් ගෝල දිනුමක්ද, පොලිස් කණ්ඩායම එක් ගෝල දිනුමක් හා දඬුවම් පහර දෙකක්ද වාර්තා කර තිබිණි.

තවද මහනුවර ක්‍රීඩා සමාජය හා හැව්ලොක්ස් කණ්ඩායම අතර හැව්ලොක්ස් පිටියේදී නිමාව දුටු තරගයේදී 20-09ක් ලෙස ජයගැනීමට මහනුවර කණ්ඩායමට හැකි වුවද පළමු භාගයේදී 06-03ක් ලෙස ඉදිරියෙන් සිටීමට හැව්ලොක්ස් කණ්ඩායමට හැකි විය. මහනුවර කණ්ඩායම වෙතින් එක් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් දෙකක් හා එක් දඬුවම් පහරක් වාර්තා වෙද්දී හැව්ලොක්ස් කණ්ඩායමට දඬුවම් පහරක් තුනක් මඟින් ලකුණු හිමිවිය.

කෙසේ වෙතත් හැව්ලොක්ස් කණ්ඩායම සමඟින් ලැබූ ජයත් සමඟ මේ වනවිට තරග 7කට සහභාගි වී සිටින මහනුවර කණ්ඩායම තවදුරටත් ඔවුන්ගේ අපරාජිත බව ආරක්‍ෂා කරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර, තරග 7කට සහභාගි වී තරග 5ක් ජයගෙන තරග දෙකක් පරාජය වී සිටින හැව්ලොක්ස් කණ්ඩායමට දෙවැති තැන හිමිව තිබේ.

ඡායාරූපය _
කැළුම් චාමර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon