ගුරුවරියක වීමට සිහින මැවූ පුංචි චමූ රියැදුරකුගේ නොසැලකිල්ලෙන් මරු තුරුලට

  👤  3662 readers have read this article !
By mawbima 2017-12-18

මැදවච්චිය - ගයාන්
"මුදූ පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා..."

ඒ පුංචි චමූගේ මුවගින් නිතරම කියැවෙන ගීතයකි. පුංචි චමූ මව ළඟට ගොස් මවගේ ඔඩොක්කුවට හිස තියා නින්ද යන තුරු හිස අත ගාන අතරතුරේ මව පුංචි දියණියට (චමූට) කියා දුන් මේ ගීතයට චමූ ප්‍රිය කරයි. චමූද තමාගේ ආදරණීය බෝනික්කා මව චමූ නැළවූ ආකාරයට නළවන්නේ එම ගීතය ශබ්ද නඟා කියමිණි.
"චමූ" යනු මව පියා සහෝදරයෝ මෙන්ම අසල්වැසියන් චමෝද්‍යා මධුභාෂිණි නෙත්මි ජයරත්න දියණියට ආදරයට කතා කරන නාමයයි. මේ පුංචි දෝණිටත් ලස්සන බලාපොරොත්තුවක් තිබිණි.

ඒ මම ලොකු වෙලා ගුරුවරියක් වෙනවා යන සිහිනයකි. එය චමූ තම අත් අකුරෙන් පුංචි කොළයක ලියා පොත් මේසය අසල බිත්තියේ ප්‍රදර්ශනය කර තිබුණේ නිතර නිතර නෙත ගැටෙන අයුරුණි.

මැදවච්චිය කොන්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව 9 වැනි අවුරුද්දට පා තැබූ චමෝද්‍යා මධුභාෂිණි නෙත්මි ජයරත්න දියණිය මැදවච්චිය, පුහුදිවුල විද්‍යාලයේ 04 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබා ඇත. 2018 නව වසරේ 05 ශේ්‍රණියට යෑමේ විශාල බලාපොරොත්තුවත් සමඟ 05 ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමේ දැඩි අධිෂ්ඨානයක් තිබූ චමෝද්‍යා දියණිය (චමූ) තම බලාපොරොත්තු බිත්තියේ කුරුටු ගී කර තිබිණි.
පවුලේ බාලයා වූ චමූගේ පියා විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

මේ පුංචි චමූට කුඩා කල සිටම විශේෂ පුරුද්දක් තිබිණි. ඒ අලුයම 05.30ට අවදි වී ගෙයි තිබෙන පහන ළඟට දිව ගොස් එහි ඇති මල් කූඩය ගෙන මිදුලේ තිබෙන මල් ගසෙන් මල් කඩා කූඩය පුරවා ගෙනැවිත් බුදුන් වැඳීමයි. පසුගියදා චමූගේ අයියා අ.පො.ස. සා/පොළ විභාගයට පෙනී සිටියේය. එදා උදෑසන වෙනදා මෙන් අවදි වූ මේ පුංචි චමූ මල් කඩා පළමුවෙන්ම බුදුන් වැඳ තවත් මල් ටිකක් කඩාගෙන විත් ගේ ‍ෙදාරකඩ අයියා විභාගය ලිවීමට පිවිසෙන මාර්ගයේ බිම ලස්සනට අතුරා තිබිණි. එය උඩින් තම අයියාට යන ලෙස පවසා වතුර වීදුරුවකටද මල් දමා අයියාට පානය කිරීමට දීම සිඟිති චමූ අමතක නොකළේය.

ඉන් අනතුරුව බුදු පහන ළඟට දිවගිය පුංචි චමූ අයියාට විභාගය සාර්ථකව මුහුණ දෙන්න ලැබේවායි කියා සිතා පහනක් පත්තු කළාය. ඒ පහන ළඟින් පුටුවක් කියා ගත් චමූ නැවත අයියා විභාගය ලියා එන තුරු ඒ පහන නිවීමට ඉඩ නොදී තෙල් අඩු වනවිට තෙල්ද එයට දමා මඟ බලා සිටියේ මවක මෙනි.
මල් කැකුළු අකාලේ බිම නොවැටෙයි. මල් කැකුළු අකාලේ බිම දමන්නේ එහි වටිනාකම ගැන නොදත් පුද්ගලයන්ය. සිහින බලාපොරොත්තු, පොදි බැඳගෙන ජීවිතයක අර්ථය නිසි පරිදි නොදන්නා වැඩිහිටියන්ව අනුකරණය කර ජීවිතයක් විඳීමට වෙර දැරූ උත්සාහවන්ත දිරියවන්ත දියණියකගේ ශෝචනීය ඉරණමක අවසන් හෝරාවයි මේ.
එදා 2017 දෙසැම්බර් 15 වැනිදා සිකුරාදා දිනයයි. වෙනදා මෙන් දෛනිකව සිදුකරන සියලු ක්‍රියාවන් චමූ මෙදිනද සිදු කළේය. අයියා වෙනුවෙන් පත්තු කරන පහනද චමූ සිකුරාදා පත්තු කරන්නට අමතක නොකළේ සිකුරාදා දිනද අයියාගේ විභාගය පැවැත්වුණ නිසාය. වෙලාව උදෑසන 09ට පමණ විය.

"මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා...."
ගීතය ගයමින් පුංචි චමූ අක්කා ළඟට එන්නේ
"අක්කේ මම යනවා ඉස්කෝලෙට ඕන බඩු ගන්න අම්මත් එක්ක ටවුමට. මම එනකම් අද ඔයා අයියාට පත්තු කරපු පහන බලාගන්න. නිවෙන්න දෙන්නෙ නැතුව මතක් කරලා තෙල් දාලා නිවාගන්නෙ නැතුව තියාගන්න. මම ඉක්මනට එන්නම්"
නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ ගැනීමට විනීතා දමයන්ති මෑණියන් සමඟ මේ පුංචි චමූ මැදවච්චිය නගරයට ආවාය. කවුරුත් නොදන්නා ඇයගේ අවසන් ගමනට තම ආදරණීය අක්කා ඉක්මනින් එන්න යැයි පැවසුවාය. මවද තම යතුරුපැදියේ පසුපස අසුනෙන් වාඩිකරවා ගත් චමූත් රැගෙන මැදවච්චිය නගරයට එන්නේ තම දියණියගේ අවසන් හෝරාව මෙය කියා නොදැනය.

එසේ පැමිණි මෙම මව මැදවච්චිය නගරයෙන් අවශ්‍ය බඩු රැගෙන යනවිට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී මවගේ යතුරුපැදියේ හැඬලයේ පසුපසින් ආ ටිපර් රථයක ගැටීමත් සමඟ එහි ගමන් ගත් මව සහ දියණිය යතුරුපැදියෙන් වැටී මව පාරෙන් පිටතටත් පසුපසින් ආ දියණිය (චමූ) පාර මැදටත් විසිවූහ.
එම අවස්ථාවේ පුංචි චමූ මේ අවිනීත රියැදුරාගේ ගොදුරක් බවට පත්විය. දැරිය ටිපරයේ පසුපස රෝදයේ ඉදිරියෙන් පිහිටා ඇති යකඩ ආවරණයේ වැදීමත් සමඟ හිස් වැසුම ගැලවී ගොස් පසුපස රෝදයට හසුවී සුනුවිසුනු වී ගියේය. දැරියද රථයක් නැවැතීමට තැබූ අඩයක් මෙන් පසුපස රෝදයට ගුළිවී තිබිණි. අවට සිටි පිරිස දිව විත් දැරිය ටිපරයේ රෝදයෙන් මුදාගෙන මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

මවද රෝහල් ගත කර තිබුණ අතර මවටද තුවාල සිදුවී තිබිණි. ඉන් අනතුරුව අනුරාධපුර රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය යැවූ අතර එහිදී දැරිය මෙලොවින් සදහටම සමුගෙන ගියාය.

රුදුරු මාරයාගේ ග්‍රහණයෙන් නොගැලවුණු මේ පුංචි දියණිය මුළු නගරයම හැඬවූහ. මව මැරි මැරී උපදින්නේය. පියා වේදනාවෙන් හඬා වැටේ. සහෝදරයන් උන්හිටිතැන්වලම නිහඬවී ඇත. ගම් වැසියන්ගේ සියලුම මුවගින් පිටවන්නේ අනේ හපොයි වෙච්ච දෙයක් කියාය.
මේ සියල්ල හඬවමින් චමූ අද (18දා) සියල්ලන්ගේම කර මතින් අවසන් ගමන් යෑමට නියමිතය.
දැරියගේ පියා එහි ගිය අප වෙත මෙසේ පැවැසුවේය.

"රටේ නීතිය මදි. මගේ දුව අද සදහටම මගෙන් සමු අරන්. වැරැදිකාරයන් තව සතියක් දෙකක් අතර නිදහස් වේවි. අනේ මගේ චමූ... සුදු මැණිකේ ඇයි මාව දාලා ගියේ... මගේ රත්තරනේ....."
චමූ දැල්වූ පහන අද නිවී හමාරය.

සියල්ල එසේ වනවිට අවිනීත ලෙස බස් රථයක් ඉස්සර කරමින් මැදවච්චිය සිට වවුනියාව දෙසට ආ ටිපර් රථයේ රියැදුරු මැදවච්චිය පොලිසිය විසින් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon