සියලුදෙනාටම සුවසේ ජීවත්විය හැකි සමාජයක් අපි නිර්මාණය කරනවා

  👤  3467 readers have read this article !
By mawbima 2017-12-18

සියලුම දෙනාට සුවයේ ජීවත් විය හැකි සමාජයක් අප නිර්මාණය කරනවා. ඒ සඳහා සාධාරණ මිලකට ප්‍රධාන ආහාර වර්ග ලබාදීමේ වැඩසටහනක් අප ආරම්භ කර තිබෙනවා. මෙය ආණ්ඩුවකට අපහසු කාර්යයක් වුවත් එය ආණ්ඩුවක මූලික යුතුකම බව අප අවබෝධ කරගෙන සිටිනවා. ඒ යුතුකම ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අපි කැප වී සිටිනවා. අපි ආරම්භ කළ සහන සැලසීමේ වැඩසටහන හරහා නිවිතිගල වැනි කොළඹින් බැහැර ප්‍රදේශවලටත් මෙම මස අවසන් වන විට සහන මිලට භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම එම සහන එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය දක්වාම ක්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි
අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ නිවිතිගල නගරයේ ඉදි කරන ලද නව බස් නැවතුම්පොළ සහ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
ලෝක වෙළෙඳපොළෙහි මිල අඩුවන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ මිල අඩු කිරීමත්, ලෝක වෙළඳපොළේ මිල වැඩිවන විට ඊට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල අඩු කිරීමත් අපේ ප්‍රතිපත්තිය වුණා. ඉන්ධනවල මිල අඩු කිරීමට අපට හැකියාව ලැබුණේ ඒ ආකාරයටයි.
නමුත් අද අපේ රට තුළ අප එදිනෙදා භාවිත කරන භාණ්ඩවල මිල විශාල ලෙස වැඩි වී තිබෙනවා. අවුරුද්දේ මේ කාලය වන විට මෙම තත්ත්වය පාලනය වේ යැයි අප කල්පනා කළා. මෙම තත්ත්වයට හේතුව වන්නේ පසුගිය කාලය පුරා රටේ ඇතිවූ අයහපත් දේශගුණික තත්ත්වයයි.

කෙසේ නමුත් මේ වනවිට හාල්, පරිප්පු, හාල්මැස්සන්, ටින්මාළු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය වනතුරුම සහන මිලකට ජනතාවට ලබාදීමට අපි කටයුතු කරනවා. පසුගිය සඳුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ද , අඟහරුවාදා දිනයේ මගේ ප්‍රධානත්වයෙන් ද කැබිනට් මණ්ඩලයේ ජීවන වියදම් පාලන කමිටුව රැස් වුණා. එහිදී මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලකට ජනතාවට ලබාදීමට තීරණය කෙරුණා.

එම වැඩකටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට භාණ්ඩ බෙදාහැරීම සිදු කරන්නේ සතොස හරහායි. නමුත් සමස්ත දිවයින තුළම සතොස ආයතන හෝ ශාඛා තිබෙන්නේ 3000 ක් වැනි ප්‍රමාණයක්. එම නිසා මෙම වැඩකටයුත්තට පෞද්ගලික අංශයද සම්බන්ධ කර ගැනීමට අපි තීරණය කළා. ඒ අනුව මෙම සාකච්ඡාවට කාර්ගිල්ස්, කීල්ස්, ලාෆ්, රිචඩ් පීරිස් වැනි සමාගම් ද එක්කර ගත්තා. මෙම සමාගම් හරහා බඩු භාණ්ඩ මිලදී ගන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 1/3 ක පමණ පිරිසක්. ඒ නාගරික ජනතාවයි. එම නිසා එම අත්‍යවශ්‍ය භාණ්ඩ ග්‍රාමීය ප්‍රදේශ වෙත බෙදාහැරීමේ ක්‍රියාවලියක් ද අපි ඇති කළා. ඒ සඳහා ද පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට කටයුතු කළා. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානද මීට සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත මෙම භාණ්ඩ ග්‍රාමීය ප්‍රදේශ වෙත ළඟාවී ඒවා ගමේ සිල්ලර වෙළෙඳ සැල්වලින් මිලදී ගැනීමට හැකි තත්ත්වයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි.

රටේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැඩසටහන ආරම්භ කරනවා. කාර්ගිල්ස් සමාගම තම බඩු මිල පහත හෙළීම ඊයේ දිනයේදී නිවේදනය කළා. නමුත් එම භාණ්ඩ මෙවැනි කොළඹින් බැහැර ප්‍රදේශවලට පැමිණීමට කෙටි කාලයක් ගත වනවා.

අප්‍රේල් මාසය වන තුරුම ජනතාවට මෙම සහනය ලබාදීමට අප තීරණය කළේ ඇයි? සාමාන්‍යයෙන් ජනවාරි, පෙබරවාරි මාසයන් වන විට බඩු මිල ඉහළ යනවා. එම කාලසීමාව වන විට තවත් බඩු මිල ඉහළ යනවා නම් එය නිවසේ ආදායමට විශාල ප්‍රශ්නයක් වනවා. අනෙක් කාරණය නම් ඉදිරි වසර දෙක තුළ අපට විශාල වශයෙන් ණය ගෙවීමට සිදුව තිබෙනවා. ලංකාවේ විශාලම ණය ගෙවන කාලය වන විට ඊට සාපේක්‍ෂව රටේ උද්ධමනයද වැඩි වීමට හැකියාව තිබෙනවා. අපේ ණය ගෙවීමත් අප අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. එයත් රටේ සාමාන්‍ය ජනතාවට විශාල ප්‍රශ්නයක් විය හැකියි. අප අප්‍රේල් මාසය වන තුරුම ජනතාවට මෙම සහනය ලබාදීමට තීරණය කළේ එම නිසයි.
අනෙක් ප්‍රධාන කාරණය නම් වර්ෂාවයි. මේ රටේ කෘෂිකර්මාන්තය ර¼දා පවතින්නේ වර්ෂාව මතයි. පසුගිය කාලය තුළ අප බලාපොරොත්තු වූ ආකාරයට වර්ෂාව ලැබුණේ නැහැ.

ජලය නොමැතිකම හේතුවෙන් රජරට වී ගොවිතැනත්, නුවරඑළියේ එළවළු වගාවත් අත්හැර දැමීමට එම ගොවීන්ට සිදු වුණා. මේ හරහා සමස්ත ලංකාවේම ආහාර නිෂ්පාදනය අඩාල වුණා. අද වෙළඳපොළේ අපට දක්නට ලැබෙන මිල ඉහළ යෑමට හේතුව එයයි.
එම නිසා මූලික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කරමින් මිල පාලනය කිරීමට අප තීරණය කළා. සහල් අවශ්‍ය ප්‍රමාණයට ගෙන්වීමට අප තීරණය කළා. මේ වනවිට ටොන් 50,000 ක් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා. අවශ්‍ය හිඟ භාණ්ඩ ආනයනය කරමින් මිල පාලනයක් පවත්වා ගැනීමට අප තීරණය කර තිබෙනවා.
අපට ආනයනය කිරීමට අපහසු භාණ්ඩය වන්නේ "පොල්". පොල් ආනයනය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. නමුත් අනෙක් සෑම භාණ්ඩයක්ම ආනයනය කිරීමට හැකියි.

අපට මුහුණ දීමට ඇති එකම ගැටලුව වන්නේ පොල් හිඟයයි. ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට 2019 - 2020 පමණ වන තුරු බලා සිටීමට සිදු වනවා. එම නිසා ඒ වෙනුවෙන් ගත යුතු පියවර කුමක්ද යන්න පිළිබඳවත් අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon