ඕස්ට්‍රේලියාවට හොරෙන් ගිහින් පිටුවහල් කර එවූ 25කට ඇප

  👤  3473 readers have read this article !
By mawbima 2017-12-18

මිනුවන්ගොඩ - අතුකෝරල

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ අවස්ථාවේ එරට බලධාරීන්ගේ භාරයට පත්ව ඉකුත් 14 වැනිදා විශේෂ ගුවන් යානයකින් මෙරටට පිටුවහල් කර එවා තිබූ කුඩා ළමයින් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 29 දෙනාගෙන් සිවු දෙනකු ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ශිලනි වතුරන්ති පෙරේරා මහත්මිය පසුගිය 15 වැනිදා නියම කළාය.
තංගල්ල, හුංගම, නෙතොල්පිටිය, මාතර, හක්මන, රන්න පදිංචි අනෙකුත් සැකකරුවන් 25 දෙනාගෙන් එක් අයකුට රුපියල් 10,000 බැගින් මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට නියම විය.

අවුරුදු 12 සහ 15 වයසැති පිරිමි ළමයින් දෙදෙනාව ඉහත ඇපයට අමතරව රුපියල් ලක්ෂ 2ක බැඳුම්කර ඇප මත ඔවුන්ගේ මවුවරුන්ට මුදා හැරීමටද නියම කෙරුණි. ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු වූ අතර එම ඇපකරු ග්‍රාම නිලධාරි මඟින් පදිංචිය තහවුරු කළ යුතු බවට නියම කළ මහෙස්ත්‍රාත්වරිය ලබන වසරේ ජුනි මස 5 වැනිදාට නඩු විභාගය සඳහා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ඇප නියම වූ සැකකරුවන්ට නියම කළාය.
ඉකුත් නොවැම්බර් මස 17 වැනිදා තංගල්ල කුඩාවැල්ල මුහුදු තීරයෙන් සචින් පුතා නමැති බහු දින යාත්‍රාවෙන් සැකකරුවන් ඕස්ට්‍රේලියාවට ගොස් තිබූ බවට ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයේදී පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon