පක්‍ෂය මාරු කර ඇත්තේ පක්‍ෂ සාමාජිකත්වයක්වත් නැති අයෙක්

  👤  3797 readers have read this article !
By mawbima 2017-12-18

නාත්තණ්ඩිය -
සමන්ප්‍රිය ජයශාන්ත

එක්සත් ජාතික පක්‍ෂයේ හලාවත ආසනයේ සංවිධායකවරයා පක්‍ෂය මාරු කර ඇති බවට පැතිර යන කතාව අසත්‍යයක් බවත්, පක්‍ෂය මාරු කර ඇත්තේ සංවිධායකවරයකු තබා පක්‍ෂ සාමාජිකත්වයක්වත් නොමැති අයකු බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකර මහතා පැවැසීය.
පෙරේදා (16දා) රාත්‍රියේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව කීය.

හලාවත පිහිටි තම නිවෙසේදී පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකර මහතා මෙසේද පැවැසීය.
හලාවත ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකවරයා මමයි. වෙනත් කිසිම කෙනකු පක්‍ෂ නායකත්වය විසින් ප්‍රධාන හෝ සම සංවිධායකවරුන් ලෙස පත් කර නැහැ. නමුත් පසුගිය දිනවල ප්‍රචාරයක් ගියා හලාවත ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකවරයා පක්‍ෂය මාරු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගියා කියලා. මම නම් කිසිම දවසක පක්‍ෂය මාරු කරලා නැහැ.

නමුත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ හිලරි ප්‍රසන්න මහතා නම් ආපසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගියා කියලා දැන ගන්න ලැබුණා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්‍ෂයට ඇවිත් තමයි ඡන්දය ඉල්ලුවේ. එතුමාට පක්‍ෂ නායකත්වය විසින් කුමන අවස්ථාවකවත් සංවිධායක ධුරයක් ලබාදී තිබුණේ නෑ. අඩුම තරමින් පක්‍ෂ සාමාජිකත්වය හෝ ලබාගෙන තිබුණේ නෑ.

හිලරි ප්‍රසන්න මහත්තයා මගෙන් ඉල්ලීමක් කළ හලාවත නගරාධිපති ධුරය එතුමාට දෙන බවට ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. මම මේ සම්බන්ධයෙන් පක්‍ෂ නායකත්වයෙන් විමසීමක් කළා. නමුත් නායකත්වය කියා සිටියේ අවශ්‍ය නම් වාචික ප්‍රකාශයක් ලබා දෙන්න කියා පමණයි. මේ මැතිවරණයේදී නගරාධිපති ධුර අපේක්‍ෂකත්වයක් හෝ සභාපති අපේක්‍ෂක ධුරයක් කාටවත් දෙන්න බැහැ. මම ඒ බව එතුමාට කිව්වා. ඊට පස්සේ තමයි එතුමා නැවත හිටපු තැනට එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගිහින් තියෙන්නේ.

පසුගිය මැතිවරණ සමයේ එතුමා තමාගේ නිවෙස ඉදිරිපිට තමන් හලාවත ආසනයේ සම සංවිධායකවරයා බවට පුවරුවක් සවි කරලා තිබුණා. ඒක එතුමාගේ ආශාව නිසා අපි නිකන් හිටියා. නැතිව ඉතින් ඇයි අපි කාගේවත් බැනර් කටවුට් කඩන්න යන්නේ.

මම අවධාරණයෙන් කියන්න කැමැතියි හලාවත ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකවරයා පක්‍ෂය මාරු කළේ හෝ මාරු කරන්නේ නැති බව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon