මේ රට පාලනය කරන්නේ මෛත්‍රි-රනිල් දෙන්නා නෙවෙයි

  👤  3406 readers have read this article !
By mawbima 2017-12-18

ජාතික නිදහස් පෙරමුණේ විශාල දෙදරීමක් වෙලා නේද?

වීරකුමාර සහෝදරයා සහ පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකු සහ ජාතික සංවිධායක මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙලා. පක්ෂය ගැටලුවක් නැතුව යනවා. පක්ෂයේ නියෝජ්‍ය නායක අඩු වුණා කියලා පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්වීමක් හරි, පක්ෂය ඉදිරියට යන එක හරි, අපගේ අරමුණු හරි වෙනසක් වෙලා නැහැ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණු එක පක්ෂයට වූ හානියක් කියලා පිළිගන්නවාද?

මේ වෙලාවේ රටේ තියෙන්නේ ආණ්ඩු විරෝධයක්. ආණ්ඩු විරෝධය කියන්නේ යූඑන්පී එක විතරක් නෙවෙයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපයටත් ඒ විරෝධය ඒ විදිහටම තියෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ ජාතික නිදහස් පෙරමුණේ හතර දෙනකු මෛත්‍රිපාල මහත්මයා ළඟට ගියා කියලා රටේ මිනිස්සුන්ගේ ආණ්ඩුවට තියෙන විරෝධය අඩු වෙනවා කියලා.

ජාතික නිදහස් පෙරමුණේ ඡන්ද අපේක්ෂක ලැයිස්තුවට බැසිල් රාජපක්ෂ මහතා ඉඩ දුන්නේ නැහැ කියලා කියනවා.

වසර ගාණකට පසුව කොට්ඨාස ක්‍රමයක් ඇවිත් තියෙනවා. පහුගිය කාලයේම ගම් ඇතුළේ අපි මිනිස්සු රැස් කරමින් ඔවුන් දේශපාලනික වශයෙන් දැනුවත් කළා. නායකයන් හැදුවා, පත් කළා. එකම කොට්ඨාසයකින් තරගකරුවන් කීපදෙනකුම ඉල්ලන්න සූදානම්. ඒ අතර සමහරුන් අතිශය දක්ෂයන්. මේ වෙලාවේ මුළු රටේම ආණ්ඩු විරෝධයක් හැදිලා තිබෙන වෙලාව. බොහෝ දෙනකු විශ්වාස කරනවා පොහොට්ටුවෙන් ආවොත් දිනන්න පුළුවන් කියලා. මේ කරුණුත් එක්ක සහෝදර පක්ෂ එක්ක ගනුදෙනුවේදී ඇතැම් තැන්වල යම් යම් ප්‍රශ්න වෙලා තියෙනවා. ඒකට දක්වපු ප්‍රතිචාර හැටියට සමහරු යන්නත් ගියා. නමුත් පක්ෂයක් හැටියට අපට තිබෙන්නේ පොදු ගමනක්. අවසානයේ ජයග්‍රහණය ලැබීම තමයි අපේ අපේක්ෂාව.

වීරකුමාර මන්ත්‍රිවරයත් කියලා තියෙනවා ජානිපෙ හිටියත් ශ්‍රීලනිපයේ උන්නතිය ගැන තමයි සිතුවේ කියලා?

ඒක එයාගේ මතය. මාත් විශ්වාස කරන්නේ වමේ තිබෙන ශක්තිමත් පක්ෂය වන ශ්‍රී ලනිපය විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ කියලයි. අපේ රටට ඕනෑ වමේ ආණ්ඩුවක්. මහින්ද රාජපක්ෂ මහතා පාලනය කරනකොට රට සංවර්ධනය කරපු විදිහ සහ මේ ආණ්ඩුව පත්වූ පසු ජාතික සම්පත් විකුණන විදිහයි පැහැදිලිව තේරෙනවානේ. මේ විනාශයේ නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. ඒ පැත්ත ජනතාවට තවම තේරෙන්නේ නැහැ.

මොකද්ද ඒ නොපෙනෙන පැත්ත?

මේ රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා කියලා අපට පෙනුණත් මේ යන්නේ වෙන න්‍යාය පත්‍ර ටිකක්. රටේ මිනිස්සු දේශපාලනය මනින්නේ ටීවී එකේ යන තත්පර 30 වොයිස් කට් එකෙන්. නමුත් අපේ රටේ ජනතාවට සැබෑ යහපත කරා යන ගමන නෙවෙයි මේ යන්නේ. අධිරාජ්‍යවාදයේ කොටසක් සහ ත්‍රස්තවාදයේ කොටසක් තමයි යන්නේ. මේ සියලු දේ එක්ක තව අවුරුදු ගාණකින් හිතෙයි අපි මොනවද අතීතයේදී කළේ කියලා.

ඔබ කීවා අපේ රටට ගැළපෙන්නේ වමේ පාලනයක් කියලා. මහින්ද රාජපක්ෂ මහතාට එවැනි ගමනක් තිබෙන බවද ඔබ කියන්නේ?

මහින්ද රාජපක්ෂ කියන්නේ හොරෙක්ද, රනිල් වික්‍රමසිංහ කියන්නේ මහා මොළකාරයෙක්ද, මෛත්‍රිපාල සිරිසේන කියන්නේ මානවහිතවාදී චරිතයක්ද, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඇත්තටම දූෂණයට වංචාවට එරෙහි රටේ මිනිස්සුන්ට ආදරේ කරන පක්ෂයක්ද කියලා දැන් මිනිස්සුන්ට තේරිලා ඉවරයි. මෙහි ප්‍රතිඵලය මේ පළාත් පාලන මැතිවරණයෙන් අපට දැන ගන්න ලැබෙයි. ඉදිරි මැතිවරණවලදී මේ ආණ්ඩු විරෝධය තවත් තීව්‍ර වෙනවා මිසක වෙනසක් වෙන්නේ නැහැ.

අද මිනිස්සුන්ගේ දුප්පත්කමට උත්තරයක් නැහැ. ලක්ෂ 10ක ජනතාව මේ වෙලාවෙත් ඉන්නේ එක වේලක් කාලා. පාසල් යන වයසේ එහෙත් පාසල් නොයන දරුවන් හාර ලක්ෂ හැට එක් දාහක් රටේ ඉන්නවා. දුප්පත්කමට මේ ආණ්ඩුවෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ව්‍යාපාර කඩා වැටිලා ඉවරයි. වෘත්තිකයන් කලකිරීමට පත්වෙලා ඉවරයි. වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලන්න ගියහම ඔවුන් දඬුකඳේ ගහලා රැකියාවෙන් එළියට දානවා. සමාජය විදිහට ගත්විට මිනිස්සු සතුටින් ඉන්න රටක් නෙවෙයි මේක. එක වේල කන මිනිහට මේ රටේ බලාපොරොත්තුවක් නැහැ. මේක වෙනස් වෙන්නේ මේ රටේ පවතින ක්‍රමය වෙනස් වුණු දවසටයි.

ඔබ හිතනවාද පසුගිය ආණ්ඩුවෙන් ජනතාවට සාධාරණය ඉටුවුණා කියලා?

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව පත්වෙන්නේ 2005 අවුරුද්දේදියි. 2005 වෙනකොට අපේ රටේ තිබුණු මූලික ප්‍රශ්නය දුප්පත්කම නෙවෙයි. ජීවිතය බේරා ගැනීමේ ප්‍රශ්නයයි තිබුණේ. මම විශ්වාස කරනවා රටක් හදන්න නම් අවංක නායකයකු පත්වෙන්න ඕනෑ. අරමුණු සහගත ගමනක යන අයකුට පමණයි රටක් හදන්න පුළුවන්. ජනතාවගේ ජීවිත බේරා දීමේ අරමුණ 2005දී රාජපක්ෂ මහතාගේ හිතේ තිබුණා. 2009 අවසන් වෙනකොට නිදහස් රටක් බවට මේ රට පත්කළා. කඩාවැටුණු රටේ සංවර්ධනය කිරීමේදී හොඳ මාර්ග ඕනෑ වුණා. යටිතල පහසුකම්, වරාය, ආදී මේ සියලු පහසුකම් ඒ කාලයේ දියුණු කළා. මේ ආණ්ඩුව කියන්න ගත්තේ මහින්ද රාජපක්ෂ ගත් ණය නිසා ආර්ථිකය සංවර්ධනය කිරීම අපහසුයි කියලා. නමුත් රාජපක්ෂ ආණ්ඩු කාලයේ ගත් ණයට සාපේක්ෂව මේ ආණ්ඩුව ගත් ණය දිහා බැලුවහම මොනවාද මේ ආණ්ඩුව කළේ කියලා අහන්න වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ 100%ක් ජනතාවට සාධාරණය ඉටු වුණේ නැහැ, හැබැයි උපරිම සාධාරණය ඉෂ්ට වුණා.

මහින්ද රාජපක්ෂ ගමනේ මූලික වුණේ යුද්ධය අවසන් වූ රටක්, දූෂණය අවම කරන එක, නීතිය හරි ආකාරයට ක්‍රියාත්මක කරන එක, මත්ද්‍රව්‍ය නිවාරණය, අධ්‍යාපනය ක්‍රමානුකූලව ලබාදෙන එක. ජනවාරි 8 වැනිදායින් පසු අප බලාපොරොත්තු වුණෙත් මේ ටිකයි. නමුත් ආපස්සට බලන්න වෙනවා අපට මොනවාද ලැබුණේ කියලා. බලාපොරොත්තු වූ ආර්ථික සංවර්ධනය සිදුවුණාද? නීතිය හරියට ක්‍රියාත්මක වුණාද? මේ දේවල් බලනකොට මේ ආණ්ඩුව යන ගමනට වඩා හොඳ ගමනක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගියා. අද ඉතිරි වී තිබෙන්නේ පසුතැවීමක්, හෙටක් ගැන අරමුණක් නැති මිනිස්සු ටිකක්, අසරණ වූ පනස් අට ලක්ෂයක්, හා බලාපොරොත්තු කඩ වූ හැට දෙලක්ෂයක ජනතාවගේ මූණු ටිකක් විතරයි.

ඔබ කියන්නේ රටේ ජනතාව තෝරාගත යුත්තේ සාපේක්ෂව අඩු නරකද?

මේ ක්‍රමය ඇතුළේ මිනිස්සු සමහර දේවලින් හෙබ්බත් වෙලා ඉන්නේ. මහින්ද මහත්තයා නිසා රටේ මිනිස්සු හෙම්බත් වුණේ නැහැ. මේ රටට සාමය ගේනවා කියලා මහින්ද රාජපක්ෂ මහතා දුන්නු ඒ පොරොන්දුව ඉටුකළා. ජනවාරි 8 වැනිදා අපට දුන්නු පොරොන්දුව මේ නායකයන්ට ඉටු කරගන්න බැරි වුණා. එතකොට මේ රටේ මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ නෙවෙයි, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන කියන මහත්වරුන් ගැනයි.

වෙන පේන සීමාවක් නැහැ අපට. පොදුවේ ගත්විට අපේ රටේ හැදුණු ක්‍රමය ඇතුළේ 100%ක් පාරිශුද්ධ දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම බලාපොරොත්තු වූ ජනතාවගේ පස්ස දැන් බිම ඇනිලා. ඊළඟ ඡන්දෙනුත් මේ වැරැද්දම කළොත් ජනතාවට සිදු වෙන්නේ පිටුපස්සට රෝද හයි කරගෙන යන්නයි. ඒ නිසා මේ වෙලාවේ මිනිස්සු ඔළුව කල්පනා කරාවි. ඔබ කියන අඩුම වරදට වඩා බලාපොරොත්තු කඩවුණු මිනිස්සුන්ට බලාපොරොත්තු ඉටු කළ මහින්ද මහත්තයා ආපසු සැරයක් මතක් වෙයි. එතුමාගෙන් ඊළඟ පාර ඉල්ලන්න ඕන අවංකව රට පාලනය කරන්න, වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න කියලයි.

ඔබ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිවලට ගරු කරන්නකු ලෙස කියා තිබුණා. ඔබ එජාපයට යනවා කියන මතයකුත් තිබුණා. මොකද්ද මේ කතාව?

යූඇන්පී එකට යනවාද කියලා මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට උත්තරය ලෙස මම "මම යූ ඇන් පී එකට යනවා නම්" කියලා උත්තරයක් දුන්නා. අප්‍රමාණව දුක් විඳපු කෙනකු ලෙස මගේ අරමුණ වන්නේ මගේ පන්තියේ මිනිහාට උපරිම සාධාරණත්වය ඉටු කරන එක පමණයි. පුංචි මිනිහා ගැන එජාපයේ කෙනකු සිතුවා නම් ඒ ප්‍රේමදාස මහතා පමණයි. ප්‍රේමදාස මහතා නිසයි එජාපයට අදටත් ඡන්ද ලැබෙන්නේ. ප්‍රේමදාස චින්තනය වත්මන් ආණ්ඩුවට තිබෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මට එජාපයට යන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අනිත් පැත්තෙන් මට වැදගත් පක්ෂය නෙවෙයි. දේශපාලනයෙන් එහාට ගිහින් බැලුවාම මේ ඔක්කොම එකයි කියලත් හිතෙනවා. අපි හිතන විදිහේ දේශපාලනයක් මේ පොළොවේ වැපිරෙන්න තව ගොඩක් කල් යාවි.

මේ වෙලාවේ ගමේ නියෝජිතයන් තෝරා ගැනීම පසෙක තබා ඒකාබද්ධ විපක්ෂය පුංචි ඡන්දය ජනමත විචාරණයක් බවට පත්කරගෙන නේද?

මැතිවරණයක් එන්නේ කාලයකට පසුවයි. මේ අවස්ථාව ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින ජනතාවගේ ප්‍රමාණය ගැන දැනගන්න හොඳ අවස්ථාවක්. මේක ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නවා. අනාගතයේ හැරවුම් ලක්ෂ්‍යයක් මේ මැතිවරණය. මේක ඇත්තටම ජනමත විචාරණයක්. ගමේ නායකයා තෝරන එක වගේම මේ ආණ්ඩුව යන ගමන වැරැදියි කියලා ලෝකයට කියන්න හොඳ අවස්ථාවක් කරගන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා.

මැතිවරණ ක්‍රමය තුළ කාන්තා නියෝජනය වැඩි වුණත් තරුණ කෝටා එක අඩු වුණා. ඔබත් තරුණ දේශපාලනඥයෙක්. ඔබ මේ තත්ත්වය පිළිගන්න සූදානම්ද?

කාන්තා නියෝජනය වැඩි කිරීම හොඳ දෙයක්. ලංකාවේ තරුණයා දේශපාලනයෙන් අෑත් වෙමින් යනවා. ඒකට හේතුව මේ දේශපාලන පක්ෂ සියල්ල තරුණයන්ට එපා වෙලා ඉවරයි. මේ ගෙවී යන දශකය ලංකාවේ දේශපාලන පක්ෂවල අවසන් දශකය. ඉදිරියට ජනතාව බලාපොරොත්තුවක් තියාගත්තොත් ඒ පක්ෂ ගැන නෙවෙයි පුද්ගලයන් ගැන පමණයි.

ඔබ මාධ්‍යවේදියක්. ක්‍රියාකාරි දේශපාලනයත් සමඟ ඒ භූමිකාවෙන් ඔබ අෑත් වෙලාද?

නිවේදකයකු ලෙස මට දැනෙන විදිහේ වැඩක් කරන්න ලැබුණොත් මම ඒ කටයුත්ත කරනවා. ඒකට මාධ්‍ය කුමක්ද කියන එක අදාළ නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon